මං ඉණේ තියෙන ආයුදේ අරගෙන හොලවන්නේ නැතුව වෙන මොනවා කරන්න ද.......
අණ්ඩකෝෂය දඬු කඳකට සිර කොට එය කැකුළු හාල් ඇට පමණට කුඩු වන තුරු තලා දැමීමා......
සීටින් තරම් කෲර සත්ව වධකයෙකු අප දැක නැත. සීටින්නේ ඉතිහාස කතාවේ අප දන්නා ඇරඹුම නම් ඔහු දරුවන් තිදෙනෙකුට අම්මා කෙනෙකු වූ මැදිවියේ කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා දඟ ගෙට නියම වීමයි.
ඔහු ඒ කාන්තාව සමග කුමක් හෝ කෝන්තරයක් බැඳගන්ට ඇත. ඔහු පා පැදියක නැගී පාර දිගේ පැද යද්දී දවල් වේලට කොස් මඳුළු ගලවමින් සිටි කාන්තාව ඔහුට බැණ අඬ ගසමින් පාරට පැමිණ ඇත. ඔහු තම නිදහසට කරුණු ලෙස නඩුකාර හාමුදුරුවන් ඉදිරිපිට කීයේ මේ ගැහැනිය තමාට පහර දෙමින් සූරමින් යකා නටමින් තම රහස් ප්‍රදේශය අල්ලා අඹරවා ග්‍රහණයට ගත් බවය. ඉතින් මං ඉණේ තියෙන ආයුදේ අරගෙන හොලවන්නේ නැතුව වෙන මොනවා කරන්න ද, හාමුදුරුවනේ? ඒකිගෙ ඔය කොහාට හරි වදින්ට ඇති යනුවෙනි.
අධිකරණය ඔහු එල්ලුම් ගස් නොයවා වසර කීපයක සිර දඬුවම් නියම කළේය. යහපත් කල්කිරියාව හේතුවෙන් නියමිත කාලය ගෙවෙන්නටත් පෙර හිරෙන් නිදහස්ව පැමිණි සීටින් කරත්ත රස්සාව පටන් ගත්තේය. (සීටින් හිරගෙදරදී සීරු මාරුවට චිත්‍ර අඳින්ට ඉගෙන ගෙන ඇත. ඔහු බෝගම්බර එල්ලුම් ගස හෙවත් පෝරකය චිත්‍රයට නගා තිබූ අපූරුව අපට තවම මතකය).
ඔහු ගොන් දෙන්නා බඳින බර කරත්තයක් මිලට ගෙන ඊට බටු හරක් දෙන්නෙක් ද මිලදී ගෙන කුලී ප්‍රවාහනය පටන් ගත්තේය. එහෙත් ඔහු උන්ගෙන් වැඩ ගත්තේ ඉතාමත් කෲර අන්දමිනි. බැරි බර පටවා කඳු අඳින්නට උන් මැළි කරන අවස්ථාවල උන් නොමරා මැරුවේය. උන්ගේ වලිග අඹරවා කැඩුවේය. නාස් පුඩුවලට කොච්චි මිරිස් වතුර පිම්බේය. හුළු අතුවලින් උන් පිලිස්සුවේය. ‘‘මෙහිදී අපට සිහියට නැගෙන්නේ ධම්ම පදට්ඨ අටුවාවේ එන කම්මැලි ගවයෙකු පිඳුරු පටලා ගිනි තැබූ එක් පාපතරයෙකුට ආත්ම භව පන්සියයකදීම අහඹු ලෙස ගින්නට ගොඳුරු වී මිය යාමේ විපාකය පල දුන් අයුරුය’’.
එකල ගම්වල ලෑන්ඩ් මාස්ටර් යන්ත්‍ර නොතිබූ බැවින් බර ඇඳීම ප්‍රවාහනය සිදු වූයේ ගොන් කරත්ත මගින් පමණි.
සීටින්ගේ තවත් එක් කෲර ගව වධක ක්‍රියාවක් නම් තරුණ ගොන් නාම්බන් නහර ගැසීම හෙවත් වැඩකම් කිරීම නොහොත් උන් කර ඇඹීමයි. එවිට ගොනුන්ගේ ප්‍රජනන ශක්තිය හීන වෙයි. උන් සනීප වෙති. උන්ගෙන් දිගු කලක් වැඩ ගන්නට හැකි වෙයි.
මහ පොළොව නුහුලන අපරාධයකි. උන්ගේ අත් පා බැඳ අණ්ඩකෝෂය දඬු කඳකට සිර කොට එය කැකුළු හාල් ඇට පමණට කුඩු වන තුරු තලා දැමීමයි. සීටින්ගේ තවත් අපරාධයක් නම් හරක් හංවඩු ගැසීමයි. ලොකු යකඩ කූරක් අඹමල සේ ගින්නෙහිලා රත්කොට එයින් සතාගේ ගාත්වලත් සම පුරාත් අයිතිකරුවාගේ නමත් නොයෙක් මෝස්තරත් පිලිස්සීමයි.
සීටින් ගවයින්ට මේ අමානුෂික වධ බන්ධන සිදු කළේ තඹ දොයිතුවක අනුකම්පාවක් නොමැතිවය. ඔහු උන් පණ පිටින් මරා නොකෑවා පමණි. ඔහු තම කොල්ලන් දෙදෙනාට අච්චු කළෙත් ඊට නොදෙවෙනි අයුරිනි.
සීටින්ගේ තවත් සහගහන අපරාධයක් ගැන එකල ගැමියෝ වග විස්තර සොයා ගත්තෝය. එනම් කබර තෙල් සිඳ ගැසීමයි. එකල ගැමියන් අතර කෝන්තර පිරිමසා ගත්තේ එකෙකාට වස දීමෙනි. කබර තෙල් එක බින්දුවකට පවා මිනිසකු මරා දැමීමේ හැකියාව ඇත.
මේ තෙල සිඳ ගැනීමට නාගයෙකු හෝ පොළඟෙකු ගිල දැමු ලොකු කබර ගොයෙකු අල්ලා ගත යුතුය. ඌ අල්ලා ගෙනවුත් කුස්සියේ දුමට යටින් ළිපට උඩින් උගේ කට පහළට සිටින සේ එල්ලා ගත යුතුය. ඊට පසු දර කොට දමා පහළින් ගිනි අව්ළුවයි. කබරයා ගිනි රස්නයට තැම්බෙන විට උගේ කුස තුළ වූ නයා ද තැම්බී නයි විෂත් කබර විෂත් කැකෑරී බිංදුව බිංදුව බැගින් ළිපේ තැටියකට වැටෙයි.
මෙයාකාරයට තද පණක් සහිත කබර ගොයා දින ගණනාවක් තිස්සේ තැම්බී මිය යයි. ඒ විෂ කුප්පියකට ගත් විට කබර තෙල්ය. මෙලෙස කලක් ගත වෙද්දී දිනක් තම කරත්තයේ රෙපයාර් එකකට වඩු මඩුවකට ගිය විටක සීටින් සිහිසුන්ව ඇඳ වැටුණේය. එහෙත් කිසිවෙක් ඔහුගේ මුහුණට වතුර බිඳක්වත් ඉසින්නට හෝ ඔහුට ළං නොවුණේය. ඔහු රෝහලකට ගෙනයන්නට හෝ ගෙදර භාර්යාවට පණිවිඩයක් දෙන්නටවත් කෙනෙක් නොවිණි.
උදේ ඇද වැටුණු මිනිහා රෝහලක් වෙන ගෙන යනු ලැබුණේ හැන්දෑවේය. වෛද්‍යවරුන් කියා තිබුණේ මීට කලින් ගෙන ආවේ නම් පණ ගොඩ ගන්නට තිබුණු බවකි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය විසින් ඔහු තවත් දවසක් පමණ එසේ අවසන් මර නින්දත් නොනින්දත් අතර තබාගෙන සුනංගු කළේ ඔහු විසින් කළ කුරිරු අපරාධවලට ගැළපෙන සතර අපා වධ බන්ධන තෝරා බේරා ගැනීමේ අපහසුව නිසා විය හැකිය.
"ලංකාදීප"
ගුණතිලක මැටියගනේ