කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 10,000කට ආසන්න වෙයි
Friday, 31 January 2020 - 13:59 | Views - 690
කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරය ඇතුළත් හුබෙයි ප්‍රාන්තයේ පමණක් නොව සමස්තයක් ලෙස චීනයේ සංචාරය කිරීමෙන් වැළකී සිටින්නැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

එම සංචාර අවදානම රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉහළම අවදානම් නියෝගයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමෙන් අනතුරුවයි ඇමරිකාව මෙලෙස චීනයේ සංචාර අවදානම ඉහළ නැංවූයේ.

එමෙන්ම, කොරෝනා වෛරසය පුද්ගලයින් අතර සම්ප්‍රේෂණය වීම ඇමරිකාවෙන් ප්‍රථම වරට වාර්තා වී තිබෙනවා.

ඒ, ඉලිනොයි ප්‍රාන්තයේ කාන්තාවකගෙන් ඇයගේ සැමියාට වෛරසය සම්ප්‍රේෂණය වීමෙන්.

චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ අතර, පසුව ඇගේ සැමියාට මෙලෙස වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු චීනයේ සංචාරය නොකළ පුද්ගලයෙකු බවයි ඇමරිකානු වෛද්‍ය අංශ ප්‍රකාශ කළේ.

රෝග ලක්ෂණ තිබියදී ඇය සැමියාට සමීපව සිටීම හේතුවෙන් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

මේ අතර, චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයේ සිරවී සිටින ඉන්දියානුවන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් අද නවදිල්ලියෙන් නික්මෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බෝයිං 747 වර්ගයේ මෙම යානය පැය 6ක පියාසර කිරීමකින් පසු වූහාන් වෙත ළඟාවීමට නියමිත බව සඳහන්.

කොරෝනා වෛරසය කේන්ද්‍ර ගත වූ වූහාන් නගරයේ ඉන්දියානුවන් 325 දෙනෙකු පමණ සිර වී සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් රැගෙන ඒමට යන ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වන අතර, කොරෝනා වෛරසය ආසාදනය නොවූ පුද්ගලයන් පමණක් ගුවන් යානයට ඇතුළත් කර ගනු ලබන බවයි ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මුහුණු ආවරණ සහ අත් ආවරණ සහ ඖෂධ වර්ග ද මෙම ගුවන් යානයේ රැගෙන යනු ලබන අතර, කාර්ය මණ්ඩලය සහ මගීන් අතර අවම සබඳතාවක් පවත්වා ගැනීමට කටයුතු කෙරෙනවා.

ඒ සඳහා ආහාර පාර්සල් සහ ජල බෝතල් ආසන මතම තබනු ඇති.

මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් තිබෙනවා.  

සිංගප්පූරුවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් තුන් දෙනෙකු සොයාගෙන ඇති අතර, ඒ අනුව එහි මුළු ආසාදිත සංඛ්‍යාව 13 දක්වා ඉහළ යනවා.

තායිලන්තය සහ ජපානයෙන් ආසාදියන් 14 බැගින් සොයාගෙන ඇති අතර හොංකොං දේශයෙන් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තා වනවා.

එමෙන්ම, ව්‍යාජ නිෂ්පාදිත දිනයක් සඳහන් ව්‍යාජ මුහුණු ආවරණ 68,000ක් හොංකොං හි ඖෂධ ශාලාවකින් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මුහුණු ආවරණ 50 බැගින් වූ එම ඇසුරුම් අලෙවි කර ඇත්තේ ශ්‍රී ලංකා මුදලින් රුපියල් 6500ක පමණ මුදලකටයි.

එමෙන්ම, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ එහි මුහුණු ආවරණ හිඟයක් ද පවතින බව වාර්තා වනවා. චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 9692ක් වන බවයි.

එය පෙර දිනට වඩා 1982ක වැඩිවීමක්.

ගෝලීය වශයෙන් මුළු ආසාදිත සංඛ්‍යාව 9821ක් ලෙසයි සටහන් වන්නේ.

කොරෝනා වෛරස් ආසාදනයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව මේ වන විට 213ක් ලෙසයි සටහන් වන්නේ.

මේ අතර, කොරෝනා වෛරසයේ කේන්ද්‍රය වූ වූහාන් නගරය ඇතුළත් හුබෙයි ප්‍රාන්තයේ වැසියන් විදේශයන් හි සිට නැවත ගෙන්වා ගැනීමට චීන රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හැකි ඉක්මනින් ඔවුන් නැවතත් සිය රට ගෙන්වීම සඳහා කුලී ගුවන් යානා පිටත් කර හැරීමට කටයුතු කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

හුබෙයි ප්‍රාන්තයේ, විශේෂයෙන් වූහාන් නගරයේ වැසියන් විදේශයන් හිදී මුහුණ දෙන දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව කියා සිටියේ.

කොරෝනා වෛරසය පැතිරීම වේගවත් වීමත් සමඟ විදේශීය ගුවන් සේවා රැසක් චීනය වෙත ගුවන් ගමන් අත්හිටුවීම සහ සීමා කිරීම මෙලෙස කුලී ගුවන් යානා මේ සඳහා යොදා ගැනීමට හේතුවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top