බස් ඩ්‍රයිවර් කෙනෙකුට රැවටී විවාහ වූ යුවතිය, අංගොඩ මානසික රෝහල දක්වා ගිය සංවේදී කතාව
Friday, 31 January 2020 - 13:18 | Views - 1,357

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය නමින් වූ විශාල පුවරුව සහිත ගේට්ටුව ළග වාහනය නතර විය. ඒ දෙස බලමින්ම මා ඉන් බැස්සෙමි. කවදාවත් මේ රෝහල තුළට කිසිදු හේතුවකට එන්නට අවශ්‍යතාවයක් නොවුණත් එහි එන්නට සිදු විය.
ඒ ගායනයට දක්ෂ පදරචනයට දක්ෂ මෙන්ම චිත්‍ර අදින්නට දක්ෂ රුවැත්තියක් සොයාය. ඇය නමින් අපි ගයනි නම තබමු. කොලඹ ප්‍රධාන බාලිකාවක අධ්‍යාපනය හැදෑරූ ඇයගේ පදිංචිය කොලඹමය. ඇගේ පියා විදුහපතිවරයෙකි. මව රජයේ රැකියාවක නිරතව දැන් විශ්‍රාම සුවයෙන් පසුවන්නිය. දැනට වයස අවුරුදු හතළිස් එක්වන ජිවන කණුව පසුකරමින් සිටින ඇයට කුඩා කළ සිට පිය සෙනෙහස අහිමි විය. පියාගේ සෙනෙහස අහිමි වූ තැන සිට මවගේ රැකවරණයත් ආදරයත් සමග දිනෙන් දින ගෙවී ගිය ඇගේ ජීවිතය එකවරම කඩාගෙන වැටුණේ ඇයවත් නොසිතු මොහොතකය.
"මිස් මට උදව්වක් කරන්න පුළුවන්ද.."
අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වෘත්තිය චිකිත්සක අංශයට ගොඩ වූ මොහොතේ වෙව්ලන දෙතොල්වලින් ඈ හිමිහිට මිමිණුවාය.
"මාව එක්කගෙන යන්න නේද ආවේ..මගේ අම්මා ලගට එක්කගෙන යන්න පුළුවන්ද..මට ගෙදර යන්න උදව් කරන්න පුළුවන්ද..මේ මගේ අම්මගේ නම්බර් එක..ඒකට කෝල් කරලා එයා හොදින්ද කියලා අහන්න පුළුවන්ද ..අපේ ගේ වැඩිහිටි නිවසකට ලියලා මමයි අම්මයි එහෙ නතර වෙන්න කියලා හිතුවා..අම්මා නැති වුනු කාලෙකට මාව බලාගන්න කෙනෙක් නැහැනේ..ගෙදර ගිහින් මටයි අම්මටයි ඒ ගෙදර නඩත්තු කරන්න බැහැනේ.."
නිවසේ දුරකථන අංකය කටපාඩමින් කී ඈ පුටුවකට බර වුණේ ගෙදර යාමට ඇති උවමනාව හිතේ හිරකරගෙනය. ඇයට ඒ මොහොතේ අවශ්‍ය වුයේ ගෙදර ගොස් නිදහසේ ජිවත් වීම හෝ අම්මා සමග වැඩිහිටි නිවසකට ගොස් ජිවත් වීමය.
"අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි..අම්මා වයසයි..එයාගේ වයස දැන් හැත්තෑ දෙකයි..මට තනියම එයාව බලාගන්න බැහැ..ගෙදර නඩත්තු කරන්න මට තනියම බැහැ..හැම මාසෙම අම්මගේ පෙන්ෂන් එක එනවා..ඒක ගන්න යන්නේ මමයි අම්මයි..මගේ අම්මා වැරදි කරපු කෙනෙක් නෙමෙයි..මගේ අම්මා මට හරි ආදරෙයි..අම්මට මම නැතුව ඉන්න බැහැ මටත් අම්මා නැතුව බැහැ..අනේ මාව මගේ අම්මා ලගට එක්කගෙන යන්න.."
ඇය දෙස බැලු කෙනෙකුට ඇය කතා කරන අයුරු දකින කෙනෙකුට ඇය මානසික අබාධයකට ලක්ව ඇති බව වැටහෙන්නේ නම් නැත. එතරම්ම ඇය නිහතමානිය. බුද්ධිමත්ය. කතා කරන සියළුම වචන වගකීමකින් කතා කරන බවක් හැගෙයි.
"අපි ඉක්මණට අම්මා ළගට යමු..දැන් අම්මා කොහෙද ඉන්නේ.."
මම ඇයගෙන් විමසුවෙමි. ඈ අහිංසකව සිනාසී දෑත් මේසය මතට බර කරගත්තේ දීග කතාවක් කියන්නට කට හදාගෙනය.
"අම්මා හෝමාගම හොස්පිට්ල් එකේ ඉන්නේ..එයා බත් කනකොට හිර වෙලා හොස්පිටල් නවත්තලා කියලා මට චාමිනි මිස් කිව්වා..මට එයාව බලන්න යන්න ඕන..මාව මෙහෙට එක්කගෙන ආවේ අම්මව බලන්න හෝමාගම හොස්පිට්ල් එකට එක්කගෙන යනවා කියලා..මේ අංගොඩ හොස්පිට්ල් එකනේ..මම කිව්වා මේකේ නෙමෙයි මගේ අම්මා ඉන්නේ කියලා..ඒත් මාව එක්කගෙන ගියේ නැහැ.."
වෙළුණු දෙතොල්වලින් යාන්තමට සිනාසී ඇය ඔහේ කියවාගෙන යන්නීය.
"මෙහෙට ආවේ කොහොමද..කොයි කාලේද.."
මම විමසද්දී ඇය කල්පනාවකින් තොරවම උත්තර බදියි.
"මෙහෙට ඇවිත් අවුරුදු දෙක තුනක් ඇති..එනවා යනවා..මෙහෙට එන්න කලින් ඉස්සර මමයි අම්මයි හිටියේ කුලී ගෙදරක..අපිට අඹුල්දෙනියේ ඉඩමක් තිබුණා..ඒක ලක්ෂ 18කට විකුණලා අපි දැන් කොලඹ ඉන්න ගෙදර හදාගෙන එහේ පදිංචියට ආවා...අපි ආවේ 1994 අවුරුද්දේ..මම ඉස්කෝලේ ගියා..අම්මා වැඩට ගියා..අපි දෙන්නා ඒ ගෙදර සතුටින් ජිවත් වුණා..අපි දෙන්නට හිටියේ අපි දෙන්නා විතරයි..නෑදෑයෝ කවුරුවත් නැහැ..මගේ තාත්තා බොනවා..බිලා කරදර කරනවා කියලා අම්මා තාත්තාගෙන් අයින් වුණාලු මම ඉපදිලා මාස තුනෙන් විතර..ඊට පස්සේ අම්මට ඉදලා තියෙන්නේ මම විතරයි..ඒ නිසා මාව අම්මා ආදරෙන් බලා ගත්තා..අපි දෙන්නා ගේ ඇතුළටම වෙලා ඉන්නවා..කොහෙවත් යන්නේ නැහැ..අවුරුදු කිහිපයකට කලින් අපේ ගෙදර දෙපැත්තේ ගෙවල් හදාගෙන ආපු මිනිස්සු මම කෑගහනවා කියලා දැනට අවුරුදු කිහිපයකට කලින් මාවත් අම්මවත් අංගොඩ රෝහලට ගෙනාවා..අපිට පිස්සු කියලා..දවසක් මමයි අම්මයි ගෙදර උයනවා..
පොලිසියෙන් කියලා කට්ටියක් තාප්ප උඩින් පැනලා ගේ ඇතුළට ඇවිත් මටයි අම්මටයි වාහනේට නගින්න කිව්වා..එයාලා කිව්වේ නැගපන් වාහනේට කියලා කැත වචන වලින් බැන්නා..තවත් දවසක එහෙම ඇවිත් මාවත් අම්මවත් පොලිසියට එක්කගෙන ගියා..මම දවස් පහ හයක් පොලිස් රැදවුම් භාරයේ තියාගෙන හිටියා..අම්මා ලෝයර් කෙනෙක්ගෙන් උදව් ඉල්ලගෙන එදාම පොලිස් රැදවුම් භාරයෙන් එලියට ගියා..පස්සේ නඩු කියලා තමයි මාව එළියට ගත්තේ..අපි කිසිම වරදක් කරලා නැහැ..එයාලා එහෙම කළේ ඇයි කියලා දන්නේ නැහැ..ඊට පස්සේ අපේ ගෙදර නවතින්න පවුලක් ආවා..ඒ ගෑණු කෙනා එක එක කතා කියනවා..අපි එයාලගෙන් කුලී සල්ලි ගන්නෙත් නැහැ..ළගදි දවසක අම්මා බාත් රූම් එකේ වැටුණා..ඒ ගැණු කෙනා මට කුණුහරපෙන් බැනලා කිව්වා තෝ අම්මව මරා ගන්නද හදන්නේ කියලා..මම නිහඩව හිටියා..මොකුත් කිව්වේ නැහැ..අන්තිමට අම්මව රෝහලට ගෙනාවේ, උදව් කලේ එයා වගේ තමයි හැසිරුණේ.. මාව මෙහෙට ගෙනත් දැම්මා.."
ඇය දිග කතාවක් කියන්නීය. එහෙත් අගක් මුලක් නැති මේ කතාවේ ඇත්ත කතාව කුමක්ද යන්න මම ප්‍රශ්න කළෙමි. එහෙත් හරි උත්තරයක් නොලැබුණි.කියන්නේ එකම කතාවය. ඇය කියන කතාව ඇසූ කෙනෙකුට සිතෙන්නේ එකම සිතුවිල්ලයි. ඒ ඇය එසේනම් මෙම රෝහලේ ඉන්නේ කුමන හේතුවකටද යන්නයි.
"ගයනි..ඔයාට වුණේ මොනාද කියලා මේ මිස්ලට ඇත්තම කියන්න.."
නිහඩතාවය බිදමින් ඒ අසළට ආ හෙදියක් එසේ කිව්වේය. එහෙත් ගයනි කියන්නේ එකම කතාවය.
"අපේ ගයනිට ලස්සනට සිංදු කියන්න පුළුවන්..ලස්සනට ලියන්නත් පුළුවන්..කම්මැලිකමට දැන් මොකුත් කරන්නේ නැහැ..ඒ ගැන කිව්වේ නැද්ද.."
හෙදිය කතාව වෙනතකට යොමු කරමින් කිව්වේය. ඒ මොහොතේ ගයනි කිව්වේ "දැන් මම දුකෙන්නේ ඉන්නේ අම්මා නැතුව ඒ නිසා සින්දු කියන්න හිතෙන්නේ නැහැ.." කියාය. එහෙත් ටික මොහොතකින් ඈ ප්‍රවීණ ගායන ශිල්පිණි මාලනී බුලත්සිංහලගේ "තාර පාර දිග පාට පාට කඩ සල් පිල් සෙවනැල්ලේ.." ගීතය අකුරක් නෑර ගීතය අවසානය දක්වාම මිහිරි හඩින් ගැයුවාය. ඇස් පියාගෙන ඒ මිහිරි හඩට සවන් දුන් මට ඇසුණේ ගයනිගේ කටහඩ නොව ගායිකා මාලනිගේ කටහඩය. එතරම්ම රසට ඇය ගැයුවාය.
"මම සිංදු හතරක් කරලා තියෙනවා..වැහි දිය පාරට, පාළු අරණේ, තාරුකා හඩාවී, සිත කියන කතා. ඒ සින්දු හතර. මේ සින්දු ලිව්වේ ඩොක්ටර් කමල් විතාරණ සර්. දිනේෂ් බෝගොඩ මහත්මයා තමයි සංගීතය කළේ..මම සංගීතය ඉගෙන ගත්තේ සමිතා මුදුන්කොටුව මහත්මියගේ අම්මාගේ ඇකඩමියෙන්..බාත්ඛන්ඩෙ සංගීතය ඉගෙන ගත්තා විශාරද වෙනකල්.."
ඇය ඇගේ සුන්දර අතීතය එසේ මතක් කළේය. ඒ අතරතුර විටින් විට ඔහේ බලාගෙන කල්පනා කළේය.
"ඔයා ලස්සනයිනේ..ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ ආදරේ ඉල්ලගෙන පස්සෙන් එන්න ඇති නේද..ඔයාට ආදරේ කරන්න පිරිමි ළමයෙක් හිටියද.."
මම විමසුවෙමි.ඈ මනමාල හිනාවකින් උත්තර දුන්නේ කවදාවත් කාටවත් ආදරේ නොකළ බවත් කවදාකවත් පෙම්වතියක් වී නැති බවත් පවසමිනුයි.
එහෙත් එය අසත්‍යක් බව පසක් වුණේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ඇයව බලාගන්නා හෙද නිලධාරිනිය ඒ මොහොතේ ඇගෙන් ඇසූ ප්රශ්නයෙන්ය.
"ඇයි දරුවෝ ඔයා විවාහ වුණු කෙනෙක්නෙ..දැන් ඩිවෝස් වෙලාද ඉන්නේ.."
ගයනි මානසික රෝහලට එන්න හේතුව එයයි. හෙද නිලධාරිනිය ඇසූ පැනයට ගයනි සත්‍ය කතාව කියන්නට පටන් ගත්තේය.
"ඔව් මම විවාහ වුණා..මට එයාව හම්බුණේ බස් එකේ යද්දී..අපි නිතර නිතර හම්බුණා..දවසක් එයා මට ආදරේ කරනවා කිව්වා.. මාව බදින්න කැමතියි කියලා කිව්වා..එතකොට මගේ වයස අවුරුදු 24ක් විතර ඇති..මම ඉගෙන ගෙන ඉවර වෙලා හිටියේ..ඒ නිසා මම එයාට කිව්වා මගේ අම්මගෙන් ඇවිත් අහන්න කියලා..එයා මගේ අම්මගෙන් ඇවිත් මාව බදින්න කැමතියි කියලා අවසර ඉල්ලුවා..එයාගේ පවුලේ අයත් හරි හොදයි..අපි බැන්දා..නමුත් මගේ අම්මට හිතුණා මෙයා ලොකු බොරුවක් කරනවා කියලා..එයා හැසිරෙන විදිහට..ඊට පස්සේ හොයලා බැලුවම එයා කියලා තියෙන දේවල් බොරු..එයා මට කිව්වේ එයාගේ අක්කාට බස් කිහිපයක් තියෙනවා..ඒ බිස්නස් එයා බලා ගන්නවා කියලා..නමුත් එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්..මට බොරු කියලා මාව රැවට්ටුවා..බැදපු දවසේ ඉදලා මාත් එක්ක රණ්ඩු වුණා..සතුටින් හිටියෙම නැහැ..අපි දෙන්නගේ විවාහය තිබ්බේ මාසයක් විතර..එයා බොරු කාරයෙක් කියලා දැනගත්ත නිසා අම්මා මාව පරිස්සම් කළා..අම්මට ඕන වුණා මාව එයාගෙන් අයින් කරන්න..මොකද එයා අපිට කළේ බොරුවක්නේ.."
"එතකොට ඔයාලා දෙන්නා ලිංගිකව එකතු වෙලා නැද්ද.." ගයනිගේ කතාව අතරමැදදී හෙදිය ඇයගෙන් විමසුවාය.
"නැහැ..අපි බැන්දට එකට නිදාගත්තේ නැහැ..අම්මා මාව පරිස්සම් කළා..එයාව අපිට ගැලපෙන්නේ නැහැ කියලා අම්මා කිව්වා..ඊට පස්සේ එයාගෙන් දික්කසාද වුණා..ඊට පස්සෙත් එයා මට කරදර කළා..මට පිස්සු කියලා එහා ගෙදර අය පොලිසියට කියලා තියෙන්නේ එයත් එක්ක එකතු වෙලා කියලා මට සැකයක් තියෙනවා..අනේ.. අපි වරදක් කරලා නැහැ..මගේ අම්මා හරිම හොදයි..අපි අපේ පාඩුවේ ජිවත් වුණේ..කාටවත්ම කරදරයක් කළේ නැහැ.."
ගයනිත් ඇයගේ මවත් කලක සිට මානසික රෝහලේ ප්‍රතිකාර ලබති. මිට වසර කිහිපයකට පෙර ඔවුන් මේ රෝහලට රැගෙන එන්නේ ඔවුන් පදිංචි ග්‍රාමනිලධාරිණියට ගම්වාසීන්ගෙන් ලැබෙන තොරතුරක් අනුවය. ඒ ඔස්සේ සොයා බලා ග්‍රාම නිලධාරිනිය හා සමාජ සේවා අංශ එක්ව ගයනිව හා ඇයගේ මවව මිට වර්ෂ හත අටකට පෙර ප්‍රතිකාර සදහා රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ගත කරන විට ගයනි හා මව ජිවත් වූ නිවස කුණු ගොඩක් හා සමානය. තැන තැන කොළ ගුලිය. පුටු මේස තැන තැනය. ගේ අස්පස් කර නොමැත. උයන පිහන කෑම පවා දවස් ගණන් තබාගෙන පිළුණු වෙන්නට හරය. ඔවුන් වැඩි දවසක් ගත කර ඇත්තේ එකම ඇදුම ඇදගෙන ශරීරය කිසිදු ලෙසකින් පිරිසිදු කරගන්නෙවත් නැතිවය.
ආදරය හා රැවටීම මත ගයනි නිවසට වී ඔහේ පැත්තක් බලාගෙන සිටිද්දී ඇයගේ මවත් වයසට යාමත් සමග මානසික පීඩනයන්ට ගොදුරු වී තිබේ. මේ හේතුවෙන් මේ දෙදෙනාම මානසික රෝහලට රැගෙනවිත් තිබෙන අතර පිස්සියක මෙන් වර්ෂ ගණනාවක් නාගන්නේ නැතිව අරමුණක් නැති හීනයක් නැති ජිවිතයක් ගත කළ ගයනිට අප සමග කතාබහ කරන මට්ටමට හිතත් ගතත් හදා ගන්නට පිහිට වී ඇත්තේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සියලුම කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන්ය. ඇය දැන් දිනපතා පිරිසිදු වන්නිය. වෙලාවට බෙහෙත් බි සාමාන්‍ය පරිදි ජිවත්වන්නිය.
එමෙන්ම ඇය අපට හා රෝහලට කී දේ අනූව ඇය පොලිසි හා උසාවි ගිය කතා ප්‍රදේශවාසීන්ගෙන් සිදුවුවා යැයි කියන හිරිහැර හැරුණු කොට අනෙක් සියලුම කතා සත්‍යය. ඇයගේ මව මෙන්ම පියාද උගතුන්ය. ඇයද බුද්ධිමත් දක්ෂ කාන්තාවකි.නමුත් රැවටීම හා ආදරය කියන හේතුව මත එදා රූමත්ව ලස්සනට ජිවත් වූ ගයනිගේ සිත එකතැන්විය. ගතද එකතැන් විය. මිට වර්ෂ පහ හයකට පෙර සිටි ගයනි නොවේ අද සිටින්නේ. රෝහලෙන් දෙන ඖෂධ නිසියාකාරව භාවිතා කර ජිවත් වුවහොත් රෝහලට ආ ගයනිව නොව සාමාන්‍ය ජිවිතයක් ගත කළ ගයනිව යළිත් දැකගන්නට හැකි වෙතැයි සිතිය හැකිය.
දුර්වල වූ විට වෙනදාට වඩා ශක්තිමත් වුවා නම් සිතින් දුර්වල වී හැමෝම කියන ඒ පිස්සන් කොටුවට කාටත් යන්නට සිදු නොවේ. ඒ පරිසරයේ සුළගවත් කිසි කෙනෙකුට විදින්න අවැසි නොවන බව එහි දුටු දසුන් පසක් කර දෙයි. ගයනි මෙන් කිසිම කෙනෙකුට එවැනි ඉරණමක් අත් නොවේවා යැයි අප ප්‍රර්ථනා කරන්නෙමු.
හර්ෂණී වීරරත්න
විශේෂ ස්තූතිය - අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා දම්මිකා විජේතුංග මහත්මියට, ප්‍රජා මනෝ වෛද්‍ය හෙද නිලධාරිනි චාමිනි මිගුන්තැන්න , හෙද නිලධාරිනි රීටා මහත්මියට
ලබන සිකුරාදා තවත් කතාවක් බලාපොරොත්තු වන්න
Share This Article