රූපලාවන්‍යාගාරයේදී ගුරුවරිය මියගිය පසු සිරුර කැලේට දමා රන්භාණ්ඩ ඉස්‌සූ යුවළ වරද පිළිගනිති
Friday, 31 January 2020 - 10:30 | Views - 1,033

මීගමුවේ පිහිටි රූපලාවන්‍යාගාරය වෙත 'පේෂල්' එකක් දමාගැනීම සඳහා පැමිණි රූමත් ලාබාල ගුරුවරියක් එහිදී මියගිය අවස්‌ථාවේ රූපලාවන්‍යාගාර හිමිකාරිය සහ ඇගේ සැමියා එක්‌වී එම ගුරුවරියගේ සිරුර වත්තල ඇළ පාර ප්‍රදේශයට රැගෙන ගොස් එහි ලඳු කැලෑවක දමා පසුව මියගිය ගුරුවරිය ඇඳ පැළඳ සිටි රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රන් ආභරණ සහ ජංගම දුරකථනය සොරාගැනීම සම්බන්ධව චෝදනාවට (සොර බඩු ළඟ තබාගැනීමේ චෝදනාවට) එම රූපලාවන්‍යාගාර හිමිකාරිය සහ ඇගේ සැමියා මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා හමුවේ වරද පිළිගත්හ.
සොර බඩු බව දැන මියගිය කාන්තාවගේ රුපියල් ලක්‍ෂ ගණනාවක් වටිනා රන් මාලය, වළලු, මුදු සහ ජංගම දුරකථනය සොරා ගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා විත්තියේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා මඟින් වරද පිළිගත් විත්තිකරුවන් වූයේ මීගමුව දිවුලපිටිය පාර අමරසේකර වත්තේ පදිංචි රූපලාවන්‍ය ශිල්පිනී මිලානි ඩබ්ලිව්. බර්නඩීන් පෙරේරා සහ ඇගේ සැමියා වන පී. පී. සරත් සිරිවර්ධන පෙරේරා නමැත්තන්ය.
මෙම විත්තිකරුවන්ට එරෙහි වත්තල පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන (පැමිණිල්ල) අනුව මෙහි පළමු විත්තිකාරිය වන රූපලාවන්‍ය ශිල්පිනියගේ මීගමුවේ පිහිටි රූපලාවන්‍යාගාරය වෙත 2011 සැප්තැම්බර් මස 24 වැනිදා පේෂල් එකක් දමාගැනීම සඳහා කටානේ පදිංචිව සිටි ඒ. ඒ. ග්‍රීනි වාසනා අමරතුංග නමැති සුරූපී ගුරුවරිය උදැසන පැමිණ ඇත. පේෂල් එක දමා ගැනීමෙන් අනතුරුව එම රූපලාවන්‍යාගාරයේ පුටුවක ඇය රැඳී සිටියදී ගුරුවරිය හදිසියේ මියගොස් ඇත.
එහිදී කලබලයට පත් රූපලාවන්‍යාගාරය හිමි කත ඒ බව තම සැමියාව (දෙවැනි විත්තිකරුට) දන්වා ඇත. පසුව අඹුසැමි දෙදෙනාම එක්‌ව මියගොස් සිටි ගුරුවරියගේ සිරුර වාහනයකින් වත්තල ප්‍රදේශයේ ලඳු කැලෑවක දමා එම මියගිය කත පැළඳ සිටි රුපියල් ලක්‍ෂ ගණනාවක් වටිනා රන් ආභරණ සහ ඇගේ ජංගම දුරකථනය සොරාගෙන ඒවා ඔවුන්ගේ පාවිච්චියට ගෙන ඇත. මේ පිළිබඳව වත්තල පොලිසිය විසින් පුළුල් විමර්ශන සිදුකරන ලද අතර සොරාගත් ජංගම දුරකථනයේ එමි අංකය ඔස්‌සේ විමර්ශන සිදුකර මෙහි විත්තිකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
වරද පිළිගත් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා දඬුවම් ලිහිල් කර ගැනීම සඳහා කරුණු දක්‌වමින් විත්තිකාර යුවළ දරුවන් තිදෙනකුගේ මව්පියන් බවත් ඔවුන් නොදැන කළ වරද සම්බන්ධයෙන් දැඩි ලෙස පශ්චත්තාප වන බවත් ඔවුනට යළි සමාජගත විය හැකි දඬුවම් නියම කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය. මෙහිදී රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්‌වීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විත්තිකරුවන්ට බරපතළ වැඩ ඇතිව වසර 5 කට අත්හිටුවූ වසර දෙක බැගින් සිරදඬුවම් සහ රුපියල් 7500 බැගින් දඩ නියම කළේය. රජයේ අධි නීතිඥ මලික් අසීස් මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් වික්‍රමසිංහ මහතා පෙනී සිටියේය. වත්තල පොලිසියේ පො. කො. (48908) ඊ. ඒ. වසන්ත මහතා පැමිණිල්ලට සහාය විය.
Share This Article