රටම කතා කළ යාපනය වෛද්‍ය සිසුවියගේ ඝාතනයේ සැඟවුණු කතාවක් එළියට
Friday, 31 January 2020 - 8:43 | Views - 992

'ලුණුයි බතුයි කාලා හරි ජීවත් වෙමු රත්තරන්' යැයි මුලින් පවසන බොහෝ පෙම්වතුන් ඉන් පසු මතුවන අඟහිඟකම් ගැටළු හා වත්පොහොසත්කම් කුලමල, තනතුරු මත ඇති කරගන්නා ගැටුම්වලින් වෙන්වන්නේ දෙපාර්ශවයේම සිත් රිදවා ගැනීමයි.
මෙවැනි බොහෝ වෙන්වීම් අවසන් වන්නේ අනුවේදනීය සිදුවීම් ලෙසයි.
අප සිතන පතන ආකාරයෙන්ම සෑහ දෙයක්ම සිදු නොවේ. මෙලොව ජීවත් වන ඕනෑම කෙනෙකුගේ ජීවිතය ගලා යන්නේ හැළහැප්පීම් බාධක ඔස්සේයි. ඒවා මැඩපවත්වා ගැනීමට ඇතැම් අයට හැකියාවක් ලැබෙන්නෙ නැහැ.
ආදරය ගිලිහෙන තැන ඇතැම් කාන්තාවන් සහ පිරිමින්ගේ සිත්වල ඇති වෙන වෛරය ද ඉතා දරුණුයි. ආදරයෙන් පරදින ඇතැම් අය විකල් මනසින් යුතුව ගන්නා තීරණයද ඉතා බිහිසුණුයි. එවැනි පුද්ගලයින්ගෙන් කිසිවෙකුට සමාවක් නැහැ. සෙනෙහසින් වැළඳගත් තම ආදරණීයයන් ගේ ගෙල සිඳ ඔවුන්ගේ දිවි තොරකිරීමට පවා ඇතැමුන් නොපසුබට වන්නේ ඒ තරම්ම ඔවුන් සැහැසික වන නිසයි.
එවැනි අති අමානුෂික සිදුවීමකින් මේ රටවැසියෝ පසුගියදා කම්පාවට පත්වුණා. මේ සිදුවීම වාර්තා වූයේ යාපනය මාන්තෙයි ප්රදේශයේනුයි. මුළු රටක්ම හැඬවූ කතාවේ නායිකාව වූයේ වෛද්‍ය සිසුවියක්.
රෝෂිණි කාංචනා කළුතර දිසාවේ බේරුවල බඳනාගොඩ ජනපදයේ පදිංචිකාරියක්. රූ සපුවෙන්ද අගතැන්පත් ඇය ගමේ සිටි හැඩකාරියක්. 28 හැවිරිදි රෝෂිනි පවුලේ දෙවැනියා. ඇගේ පියා එච්. දයානන්ද මහතා සේවය කළේ කළුතර කොට්ඨාස පොලිස් අධීකාරියේ ලිපිකරුවෙකු ලෙසයි.
අයියාත් මල්ලිත් එකම නැගණියත් සමඟ නිවසේ කෙළිදෙලෙන් ගත කළ රෝෂිණි අධ්‍යාපනය ලැබුවේ බේරුවල මස්සල ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන්. හොඳ අධ්‍යාපනයක් ලැබූ රෝෂිණිගේ බලාපොරොත්තුව වූයේ වෛද්‍යවරියක් වීමයි. ඒ වන විට ඇගේ වැඩමල් සොයුරාද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වී වෛද්‍ය උපාධිය හදාරමින් සිටියා.
උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ රෝෂිණි යාපනය වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබන විට ඇගේ මවුපියන්ගේ සිත්වල දහසක් මල් පිපෙන්නෙට ඇත්තේ තම දහදිය කඳුළුවල ප්‍රතිඵල දරුවන් දෙදෙනෙකුම ලබා ගත් නිසයි.
අයියා කළුබෝවිල රෝහලේ පුහුණු කාලය මාර්තු මාසයේ නිම කිරීමට බලාපොරොත්තු වෙද්දි රෝෂිණී අවසාන වසරේ සිසුවියක් ලෙස යාපනය වෛද්‍ය විද්‍යාලයේ ඉගැනුම ලබමින් සිටියා.
පවුලේ බාලම නැගණිය නවය වසරේත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව පුද්ගලික රැකියාවක් කරන මල්ලිගෙත් අනාගතය යහපත් කිරීම ඇගේ උත්සහය වී තිබුණා.
බේරුවල මස්සල හන්දියෙන් හැරී ඉදිරියට ගිය විට හමුවෙන්නේ කිරන්තිඩිය පාරයි. මේ පාරේ තවත් කිලෝමීටර් 7ක් පමණ ගිය විට හමුවන හෙරලන්තුඩුව පාලම ළඟින් දකුණට හැරී කිලෝමීටර් 3ක් ගිය තැන හමුවන්නේ රෝෂිණිගේ 'හිනා හඬ පිරුණු' නිවසයි.
ඇගේ නිවසේ සිට තවත් මීටර් හයසියයක් පමණ ඉදිරියට ගිය විට හමුවෙන කාලවිල කන්ද ගම්මානයේ පදිංචි මද්දුමගේ දොන් එරංග දිලීප් ඇයට හමුවූයේ ඇය කුඩා කාලයේදීයි.
එකම පෙරපාසලේ ඉගැනුම ලැබූ මේ දෙදෙනා කාලයත් සමඟ ලොකු මහත් වෙද්දි මඟතොට දී හමුවී කතාබස් කළා. තරුණ වියට එළඹ සිටි රෝෂණීගේ සිත දිනා ගැනීමට එරංගට අපහසු වූයේ නැහැ. ඇගේ නිවසේ අය නම් මේ සම්බන්ධයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒ ඇය ඉගැනුම කඩාකප්පල් කරගනිවී යැයි සිතු නිසායි. එහෙත් ඇය මවුපිය සිත් නොරිද්දා වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා ගත්තා.
ඒ වන විට යුද හමුදාවට බැඳි සිටි එරංග රැකියාව ලෙස කළේ 662 බල සේනා මුලස්ථානයේ වෛද්‍ය අංශයේ ලාන් කොප්රල්වරයෙකු ලෙසයි. පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ සිටි එරංගත් රෝෂිණිත් එක වහලක් යටට වෙන්න තීරණය කළේ මේ අතරතුරයි.
ඒ මීට වසර තුනකට පමණ පෙරයි. රෝෂිණි එක හෙලාම එරංග සමඟ විවාහ විය යුතු බව කියා සිටීම නිසා නිවැසියන් ඊට කැමැත්ත ලබා දුන්නේ "ඉගැනුම අවසන් කර විවාහය ගැන සිතුවානම් හොඳයි" යැයි නොකියාමයි.
එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ ලෝකය ඔවුන් ඉදිරියේ තිබුණේ සුළු කාලයක් පමණයි. ඇයට ඇගේ මවුපියන් බැලීමට යාමට ඔහුගෙන් ඉඩක් ලැබුණේ නැහැ. මේ නිසා දෙදෙනා අතර නිතරම හිත් අමනාපකම් ඇතිවුණා. කාලයක් තිස්සේ ඇවිලුණු 'එරංග - රෝෂිණි' කැදැල්ලේ ගින්න නිවුණේ රෝෂිණි තම මවුපියන්ගේ සෙවණට පැමිණිමෙන් පසුවයි. ඒ මීට වසරකට පමණ පෙරයි.
"මට බෑ අම්මේ තවත් එරංගත් එක්ක ඉන්න.." ඇය තම මවට එසේ කීවා.
"එහෙම කියලා බෑ. දෙන්නත් එක්ක හොඳින් ඉන්න බලන්න.." මව එසේ කීවා.
දියණීයගේ මුරණ්ඩුකම හමුවේ එම තීරණය වෙනස් කිරීමට උත්සහා ගත්තත් ඵලක් නොවන බව මව දැන සිටියා. වැලේ ගෙඩි වැලට බර නැතුවා සේම රෝෂිණිගේ මවුපියන් ද අවසානයේදී ඇයට නිවසේ දොරගුළු විවර කළේ එම තීරණය වෙනස් කරන ලෙසට තව තවත් අවවදා දෙමිනුයි.
එහෙත් දැඩි තීරණයක සිටි ඇය තරයේම ඔහුව ප්‍රතික්ෂේප කළා. මෙලෙස දින සති මාස ගණනින් ගෙවෙද්දි ඇය වෛද්‍ය විද්‍යාලයෙත් ඔහු යුද හමුදා කඳවුරෙත් සුපුරුදු ලෙස කටයුතු කළේ හිත් රිදීම් මධ්‍යයේයි.
ඔහු සමඟ තිබූ නීතිමය බැඳීමටද තිත තැබීමට මේ අතර රෝෂිණී තීරණය කළා. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කිරීමට ඇය පෙළඹුණේ මේ දීගයෙන් ඇති ඵලය කුමක්දැයි සිතන ගමන්.
ඇගේ මෙම තීරණය ගැන ඔහු සිටියේ කෝපයෙන් යුතුවයි. පසුගියදා ඇයට ඔහුගෙන් ලැබුණු ඉල්ලීමට පිටුපෑමට ඇයට පුළුවන්කමක් ලැබුණේ නැහැ.
"මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනෑ. පන්නෙයි පාර්ක් එකට එනවද රෝෂිණි..." එරංග එසේ ඉල්ලීමක් කළේ විශ්වවිද්‍යාලයේ සිටයි.
ඇය ඔහු හමුවීමට ගියේ මේ යන්නේ තම ඉරණම් ගමන තීරණය වන අවසාන දිනය බව නොදැනයි. ඔහු හැර ඒ බව කිසිවෙකුත් දැන සිටියේද නැහැ. පන්නෙයි මුහුදු කලපුව අසළ ව්‍යායාම මංතීරුවේ කතාබස් කරමින් සිටි මෙම යුවළ පිළිබඳ ඒ මොහොතේ කිසිවෙකුත් අවධානය යොමු නොකළේ ඕනෑ තරම් පෙම්වතුන් එම ස්ථානයට පැමිණ නිදහසේ සිටින නිසයි.
ඔවුන් අතර ඒ මොහොතේ ඇති වුයේ සුන්දර හමුවක පෙර ලකුණු නම් නොවේ. සුළුවෙන් ඇරඹුණු කතාබහ අවසන් වූයේ එරංග සඟවා ගෙන සිටි තියුණු ආයුධයෙන් ඇගේ ගෙල සිදී යාමෙන් පසුවයි. ඇගේ එක් අතකුත් පිහි පහරින් තුවාල වී තිබුණා.
මේ යුවළ අතර ආරවුලක් බව එතැන සිටි අය දැනගත්තේ රෝෂිණී ලේ පෙරාගෙන නැඟූ විලාපය නිසායි.
මොහොතින් ඇය කලපුවට තල්ලු කර පලා යාමට උත්සහා කළ එරංග රැස් වූ පිරිස විසින් කොටු කරගත් අතර මුහුදට වැටුණු රෝෂිණි ගොඩ ගෙන රෝහලට ඇතුළත් කරන විටත් ඇය සඳහටම මෙලොවින් සමුගෙන සිටියා.
යාපනේ කලපුවට හඬාගෙන පැමිණි මුහුදු රළ පවා කම්පා වූයේ සුන්දර මුහුදු තීරයේදී සිදු වූ මෙම සැහැසි අපරාධය අනුමත නොකරන බව අඟවමිනුයි.
කිරි සුදු මුහුදු රළ රත්පැහැ වෙද්දි හෙට දින රටට විශාල සේවයක් සිදු කිරීමට සිටි සුන්දර යුවතියක් එලෙස අහිමිව ගියේ ජාතියේම අවාසනාවට විය යුතුයි.
සිය බිරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් එරංගගේ දෑතට මාංචු වැටුණේ යාපනය පොලීසියේදීයි.
සැකකරු ඝාතනයට යොදාගත් තියුණු පිහියද පොලිසිය මඟින් සොයා ගැණුනා. ඔහු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාසයේ 6 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
විනීතා මනෙල් ගමගේ
Share This Article