එජාප මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක කාර්යාලයේ සාකච්ඡාවක
Friday, 31 January 2020 - 8:05 | Views - 484

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ඉවත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.
ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ යටතේ තැබීමට තීන්දු කරනු ලැබුවා.
එමෙන්ම, ඉදිරි මහ මැතිවරණය සඳහා ගොඩනගන සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදීමටත්, ඔහු අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීමටත් එහිදී එකඟතාවට පැමිණි බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.
මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් විසි දෙදෙනෙකු සහභාගි නොවීම විශේෂත්වයක්.
ඉන් 16 දෙනෙකු පෙර දැනුම්දීමකින් තොරව සහභාගි නොවූ අතර, තවත් 06 දෙනෙකු සහභාගි නොවන බව පක්ෂ මහ ලේකම්වරයා වෙත දැනුම් දී තිබුණා.
ඔවුන් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීමෙන් වැළකී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී.පෙරේරා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකත්වය අත්හිටුවීමේ තීරණයට විරෝධය පළ කරමින්.
Share This Article