සිය බිරිඳ නිලූකා මරන්න මිලියන ගණනක කොන්ත්‍රාත්තුවක් දුන් සැමියාගේ කැරට්ටුව ඔහුගේ සහචරයන් පොලිසියේදී හෙළි කරයි
Thursday, 30 January 2020 - 9:08 | Views - 1,028
කාන්තාවක් අමානුෂික ලෙස ඝාතනය කර තිබූ පුවතක් පසුගියදා වාර්තා වූයේ හබරදූව පොලිස් වසමෙන්. විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම ඝාතනය ද මුදලට ඇති කෑදරකම නිසා සිදුකර ඇති බවයි. කොන්ත්‍රාත්තුවකට කළ එම මිනීමැරුමේ සුලමුල සොයා ගැනීමට විමර්ශන නිලධාරින්ට හැකි වූයේ නවීන තාක්ෂණ ක්‍රම ඔස්සේ පරීක්ෂණ සිදු කරමිනුයි.
 
මෙසේ මරා දමා තිබුණේ සංචාරක හෝටල් හිමිකාරිණියක්. 'නිලූකා චාමලි' නැමති ඇය 36 වැනි වියේ පසුව එක්දරු මවක්.

උණවටුන යද්දෙහිමුල්ල ප්‍රදේශයේ ඇයට අයත් සංචාරක හෝටලයක සිය 7 හැවිරිදි දරුවා සමඟ සිටියදී නාඳුනන තුවක්කුකරුවන් විසින් ඇය වෙඩි තබා කපා මරා දමා තිබුණා.
 
සිද්ධිය වූයේ ඉකුත් ජනවාරි මස 10 වැනි දිනයි. දහවනදා අලුයම් කාලයේදී හෝටලය තුළ රැඳී සිටි ඇය වෙතට පැමිණි යතුරු පැදියකින් බැසගත් දෙදෙනෙකු මෙසේ ඇය ඝාතනය කර පලාගොස් තිබුණා.
 
හබරාදූව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹි අතර ඝාතකයින් ඇසින් දුටු අයෙකු සොයා ගැනීම පොලිසියේ අරමුණ වුණා. වෙඩි තබන මොහොතේ හෝටල් හිමිකාරිනිය සමඟ හෝටල් සේවකයින් දෙදෙනෙකු සිට ඇති අතර ප්‍රහාරය එල්ල වෙද්දි ඔවුන් සීසී කඩ දිව ගොස් තිබුණා. මේ සිද්ධිය වන මොහොතේ හෝටල් හිමිකාරිණිය සමඟ සිටි ඇගේ දරුවා එතනින් ඉවත් කොට ඝාතකයින් ඇයට පමණක් වෙඩි තැබීම ගැන පොලිසියට සැක මතුවුණා.
 
දරුවාද එතැනින් ඉවත් කර ඇයට පමණක් ඇයගේ ගෙල කපා දමන්නට තරම් වෛරයක් ඇත්තෙකු ඇයට සිටිය යුතු බවයි පොලිසියට අවබෝධ වූයේ. ඒ ඔස්සේ ඇගේ පැටිකිරිය සොයා බලද්දි හෙළි වූයේ මීට මාස කිහිපයකට කලින්ද ඇය ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවයි.
 
ඇය මරා දමන්නට එසේ කොන්ත්‍රාත්තුව දී තුබණේ ඇගේ සැමියා විසිනුයි. ඔහු ඒ වන විට සිටියේ විදේශගතවයි. දුරකථන මාර්ග ඔස්සේ ඔහු දන්නා කියන කාන්තාවක් හරහා සිය බිරිය වූ නිලූකා චාමලී මරා දමන්නට ඔහු ලබා දුන් මුදල ලක්ෂ තිහක්.
 
එහෙත් ඝාතකයා ඇය මරා දමන්නේ නැහැ. ඊට හේතුව වූයේ ඝාතකයා ඒ බව ඇයට හෙළි කිරීමයි. පසුව ඇගේ සහයෙන් ඔහු කොටුකර ගැනීමට පොලිසියට හැකිවුණා. සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හිටපු හමුදා සෙබළෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ නිලූකා චාමලී අප සමඟද (පුවත්පත සමඟ.) ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා.
 
"මගේ මහත්තයාට අයිති පර්චස් 30ක ඉඩමක් උණවටුනේ තිබුණා. ඒතෙක් ඉඳලා මම ඉදිරිපත් වෙලා කාමර දොළහක හෝටලයක් හදන්න පටන් ගත්තා. අපි ඒ ඉඩමේ සතුටින් හිටියා. පස්සෙ මට පළමු ළමයා හම්බෙන්න ආවා. මුලින් එයා ළමයා හම්බ වෙනවට කැමති වුණත් පස්සෙ ළමයා නැතිකරන්න කිව්වා. ඒකට එයාගේ යාළුවෝ දෙන්නෙකුත් මැදිහත් වුණා. ඒ නිසා අපිට වැඩි කාලයක් සතුටින් ඉන්න බැරිවුණා. ළමයා නැති කරන්න මම බෑ කිව්වාම එයා මාව දාලා ගියා. ඒ 2012 දී. පස්සේ මම යද්දෙහිමුල්ලේ ගෙයක පදිංචි වෙලා හිටියා. එතනදී තමයි ඔක්කොම ප්‍රශ්න ඇති වුණේ.."
 
අඹුසැමියන්ගේ මේ විරසකය ඇදී යාම හේතුවෙන් ඇයට නොයෙකුත් කරදර සිදුවුණා. ඇය ඝාතනය කරන්න පවා ඇතැම් අය පෙළඹූණා. අවසානයේ සැමියා ඇයට එරෙහි දික්කසාද නඩුවක් ගොනු කළා. ඒ අතර ඉඩකඩම් සම්බන්ධයෙන්ද නඩු පැවරුණා. මේ වනවිට ඔවුන්ට එරෙහිව නඩු අධිකරණය හමුවේ විභාග වෙමින් පවතිනවා.
 
මේ අතර ඇති වූ ආරවුල් හේතුවෙන්ම සැමියා විදෙස්ගත වුයේ ඇය සමඟ දැඩි වෛරයක් ඇති කරගනිමිනුයි. ඔහු ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙක්. ඒ නිසා ඔහු වැඩි කලක් සිටියේ විදෙස්ගතවයි. සැමියාට අවශ්‍ය වූයේ ඇය කෙසේ හෝ හේටලයෙන් පන්නා දැමීමටයි. වරෙක ඇය උණවටුනේ ඉදිකළ හෝටලය පවා ඩෝසර් කර දමා තිබුණා.
 
මෙවන් හැළහැප්පීම් මැද නිලූකා හමුවට දිනක් පුද්ගලයෙකු පැමිණියා.
 
"මිස් නේද නිලූකා කියන්නේ..?"
 
තමා අත තිබූ ඡායාරූපයක් ඇයට පෙන්වමින් ඔහු ඇගෙන් එලෙස විමසුවා. ඡායාරූපය දෙස බැලූ නිලුකා එහි සිටින්නේ තමා බව හඳුනා ගත්තා. තමන්ගේ ඡායාරූපයක් නාඳුනන පුද්ගලයා අත තිබීම ඇයට පුදුම කරුණක් වුණා.
 
"ඔව් ඇයි මොකද්ද ප්‍රශ්නේ..?"
 
"මිස් මට කෙනෙක් මේ පින්තූරයයි මිස්ගේ ඇඩ්‍රස් එකයි දීලා මිස්ව මරන්න කිව්වා.."
 
"මොනවා..?"
 
"ඔව් මිස් කලබල වෙන්න එපා. මිස්ව මැරුවොත් මට ලක්ෂ 30ක් දෙනවා කිව්වා. ඒත් මට මිස්ව මරන්න බැහැ. මිස්ට දරුවෙක් ඉන්නවා. මටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඒ නිසා මිස්ගේ දරුවාගේ මූණ බලාගෙන මට මිස්ව මරන්න බෑ.."
 
ඔහු කියන කතාව අසා සිටි නිලූකා තමා ඝාතනය කිරීමට උපදෙස් දුන්නේ කවුදැයි විමසුවා.
 
"කවුද ඔයාට මාව මරන්න කිව්වේ?"
 
"මම ඇත්තම කියන්නම් මිස්. මම හුඟක් ණයවෙලා ඉන්නේ. මිස්ව මරන්න කියලා මට හික්කඩුවේ ගෑණු කෙනෙක් තමයි කොන්ත්‍රාත් එක දුන්නේ. ඒත් මිස්ව මරන්න මට බැහැ. ඒ නිසා මම මිස්ට කාරණාවක් කියන්නම්. මිස් මට උදව් කරන්න.."
 
"මොකද්ද මම කරන්න ඕනේ උදව්ව?"
 
"මිස් මුන්ට හොඳට සල්ලි තියනවා. ඒ නිසා මට මේ ලක්ෂ 30 ගන්න ඕන. ඒකට මිස් මට උදව් කරන්න.."
 
"ඉතින් ඒකට මම මොකද කරන්න ඕනි..?"
 
"මිස්ව උස්සගෙන ගිහින් පාළු ගෙදරකදී අතපය බැඳලා කටේ ප්ලාස්ටර් ගහලා මරන්න කලින් ඒ ගෑනිට කියන්න කියලයි මට කිව්වේ. මිස්ට පුළුවන් නම් මිස් දන්න කියන ඒ වගේ පාළු තැනක් හොයාගන්න මම මිස්ගේ අතපය බැඳලා වැඩේ කරන්නම්. අපි මුන්ගෙන් ලක්ෂ 30 ගමු මිස්.."
 
නාඳුනන පුද්ගලයාගේ කතාවෙන් ඇය මහතා බියට පත්වුණා. ඒ වගක් නොපෙන්වූ ඇය ඔහුගේ අංකය ඉල්ලාගෙන ඇමතුමක් දෙන බව කියා ලක්ෂ 30 ගන්න උදව් කරන බවද කීවා. තමා මරා දමන්නට අවශ්‍ය වී ඇත්තේ කාටද යන්න පිළිබඳ ඇය ඒ වනවිට හොඳින් දැන සිටියා.
 
නිලූකා මේ බව කිහිප දෙනෙකුට පවසා ඔවුන් පැවසුවේ මේ ගැන ගාල්ලේ උසස් පොලිස් නිලධාරියෙකු දැනුවත් කළ යුතු බවයි.
 
සිද්ධිය ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතාට පැමිණිලි කිරීමට ඇය තීරණය කළේ ඉන් අනතුරුවයි.
 
නිලූකාගේ කතාව අසා සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සිද්ධිය විමර්හනය සඳහා දිනේෂ් නිශාන්තට භාර දුන්නා. ඔහු ගාල්ල අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයායි.
 
ඉන්පසු නිලුකාට කතා කළ පරීක්ෂකවරයා කතාව විමසා බලා ඇය හමුවට පැමිණි පුද්ගලයා කොටු කරගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙස ඇයට කීවා. ඇය ඊට එකඟ වුණා.
 
අනතුරුව ඔහු කොටුකරගැනීමට පොලිසිය සැලසුම් සකස් කළා.
 
"අපි පාළු ගෙයක් රූමස්සල පැත්තෙන් හොයාගත්තා ටිකක් කැලෑවට ගිය ගෙයක්. පස්සෙ මාත් එතැනට එනවා කියපු වෙලාවට කලින් අපේ පොලිස් කාන්තාවක් ඒ නිලූකා කියන කෙනාගේ යාළුවෙක් වගේ ඉන්න කියලා ඒ පාළු ගෙදරට යැව්වා. එයාලාගේ උදව්වට මම තව රාළහාමි කෙනෙක් සිවිල් පිට සෙට් කළා. මමත් සිවිල් දාගෙන මගේ ටීම් එකක් වෙපන් එක්ක වටේ දාලා බලාගෙන හිටියා අර මෑන් එනකන්..."
 
නාඳුනන පුද්ගලයා සිය යතුරු පැදියෙන් පාළු නිවසට පැමිණි ඇතර එතැනදී ඔහු පිළිගත් නිලූකා කිසිදු සැකයක් ඇති නොවන පරිදි සුහදව කතා කොට පොලිස් කාන්තාව තම මිතුරියක් බවට හඳුන්වා දී නිවසට පිවිසුණා.
 
"අපි මේ ඔක්කොම බලන් හිටියේ. මිනිහා ගේ ඇතුළට ගිහින්, විනාඩි විස්සක් විතර කැරකී කැරකී හිටියා. ඒත් අපිට බයක් තිබුණා මිනිහා අතේ වෙපන් එකක් තිබිලා මේ දෙන්නට වෙඩි තියලා දැම්මොත් කියලා. ටිකක් වෙලා බලන් ඉඳලා එකපාරටම පැනලා අපි මිනිහව අල්ලගත්තා. මිනිහා එකපාරටම හොල්මන් වුණා. පස්සෙ අපි මිනිහාගෙන් ප්‍රශ්න කළා.."
 
"මිනිහා ලීලාරත්න කියලා ගෝනපිනුවට පදිංචි කෙනෙක්. හිටපු හමුදා සෙබළෙක්. වයස අවුරුදු 47යි. ප්‍රශ්න කරද්දි මිනිහා කියනවා සර් මට මේ කොන්ත්‍රාත් එක දුන්නේ ගෑණු කෙනෙක්. මේ මිස්ව අතපය බැඳලා පාළු ගෙදරක ඉන්නවා කිව්වම ඒ ගෑණු කෙනා මෙතැනට එනවා කියලා.."
 
"කොහෙද ඒ ගෑණු කෙනා ඉන්නේ?"
 
"කුලීගොඩ මාදම්පේ සර්.."
 
ඉන්පසු පොලිසියට අවශ්‍ය වූයේ එම කාන්තාව කොටු කර ගැනීමයි.
 
"හරි තමන් අපි කියන විදිහට වැඩේ කරන්න ඕනි. තමන් දැන් ඒ ගෑනු කෙනාට කතා කරලා කියන්න. වැඩේ සේරම හරි, කියපු ගෑනු කෙනා අතපය ගැටගහලා ඉන්නවා, මරන්න කලින් ඉක්මනට එන්න කියලා.."
 
උපදෙස් අනුව එම පුද්ගලයා කාන්තාවට ඒ බව දැනුම් දුන්නා.
 
"වැඩේ හරි. ගෑනිව ගෙනල්ලා අතපය බැඳලා ඉන්නේ. ඉක්මනට ආවොත් බලාගන්න පුළුවන්.."
 
ඔහු එසේ කීවත් එම කාන්තාව එක්වරම පැමිණිම අදිමදි කළා.
 
"ඒත් මේ ගෑණු කෙනා එකපාරම එතැනට ආවේ නෑ. පැය තුනක් විතර ඇද්දා. එන්නම් එන්නම් කියලා එක එක බොරු කියනවා. ප්‍රාදේශිය සභාවට ගියා පොඩි වැඩක ඉන්නේ කියලා.."
 
"කොහොම හරි දවල් එකට විතර ඒ ගෑනු කෙනා කියනවා මට තැන හොයාගන්න බෑ. ඒ නිසා මම සිමෙන්ති ෆැක්ටරිය ගාවට එන්නම් කියලා. ඉන්පස්සෙ මම අපේ ටීම් එක අරන් එතැනට ගියා..."
 
ඒ බව නොදත් අදාළ කාන්තාව මෝටර් සයිකලයකින් එතැනට පැමිණියා. ඇය තමන්ට අවශ්‍ය කාන්තාව බව හඳුනා ගත් පොලිසිය ඇයව අත්අඩංගුවට ගත්තා. ඇය එතැනට පැමිණ තිබුණේ ජංගම දුරකථන දෙකක් හා බැංකු පොතක්ද අතැතිවයි.
 
"අපි ඒ කාන්තාව ඇරස්ට් කරලා ප්‍රශ්න කරනකොට එයා රත්ගම ප්‍රාදේශීය සභාවේ නිලධාරිණියක් බව කිව්වා. එයා මේ මුකුත් දන්නේ නැහැ කියලත් කිව්වා. ඒ වගේ නොයෙකුත් බොරු කතා කිව්වා. පස්සේ අපි එයාව අර පාළු ගෙදරට එක්කන් ගියා. එතනදී ලීලාරත්න මෙයාව අඳුනගත්තා..."
 
"පස්සෙ ඒ කාන්තාව කිව්වේ එයාට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ නිලූකාගේ මහත්තයා කියලයි..."
 
"රුපියල් ලක්ෂ 30කට කොන්ත්‍රාත්තුව දුන්නේ සර්. නිලූකා මිස්ව අරන් ගිහින් ගැටගහලා වීඩියෝ කෝල් එකක් අරන් මෙයාගේ මහත්තයට යැව්වට පස්සෙ එයා ලක්ෂ 20ක් ඒ වෙලාවේම එකවුන්ට් එකට දානවා. පස්සෙ ඉතිරි ලක්ෂ 10 දෙනවා කිව්වා කියලා ඒ කාන්තාව කිව්වා.."
 
"පස්සෙ අපි නිලූකාව ගැටගහලා කටේ ප්ලාස්ටරයක් ගහලා වීඩියෝ කෝල් එකක් අරන් ගෑනු කෙනා කියපු ෆෝන් එකට යැව්වා. පස්සේ එහෙන් කිව්වා පින්තූර පැහැදිලි නෑ ඉමෝ එන්න කියලා. පස්සෙ එහේ ඉන්න පුද්ගලයා අහනවා, 'ඕකි අඬනවද? කෑගහනවද? ඕකි මට කරදරයක්. ඕකිව ඉවරයක්ම කරලා දාපන්. මම දැන් ලක්ෂ 20ක් දෙන්නම්' කියලා.."
 
පොලිස් කණ්ඩායම ඒ කතාවට සවන් දෙමින් ඊළඟට කළ යුතු දේ තීරණය කළා. ඒ අනුව නිලධාරින් මංජුලා නැමති කාන්තාව ලවා නැවතත් නිලූකාගේ සැමියාට කතා කළා.
 
"අපි වැඩේ කළා. කෝ සල්ලි ආවේ නෑනේ.."
 
"හරි හරි මම මේ බැංකුව ළඟ ඉන්නේ. විනාඩි පහකින් වැටෙයි.."
 
පැය භාගයකට පමණ පසු බැංකු ගිණුමට ලක්ෂ 10ක් වැටී තිබුණා.
 
"කෝ.. ලක්ෂ 10යිනේ තියෙන්නේ.."
 
ඇය පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත ඔහුට නැවතත් ඇමතුමක් ලබාගෙන කීවා.
 
"හරි හරි මම මේ බැංකුව ළඟ ඉන්නේ. තව විනාඩි දහයකින් ඉතිරි ලක්ෂ 10ත් වැටෙයි.."
 
මොහොතකට පසු ඒ ලක්ෂ 10ද ගිණුමට වැටී තිබුණා.
 
මේ සියල්ල අනාවරණය කරගත් පොලීසිය ඝාතන කොන්ත්‍රාත්තුව භාර ගත් ලීලාරත්නත්, කොන්ත්‍රාත්තුව ඔහුට දුන් මංජුලාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණය මඟින් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග ලැබුණා.
 
සිද්ධිය සම්බන්ධයෙන් නිලූකාගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවශ්‍ය වී තිබුණත්, ඔහු විදේශ රටක සිටි බැවින් එය සිදුකළ නොහැකි වුණා.
 
කාලය මෙසේ ගෙවී ගියා. සිය ජීවිතය බේරාගත් නිලූකා යළි රිසි සේ සිය ව්‍යාපාර වල නිරත වුණා. සති මාස ගණන් ගෙවි යද්දි පරණ සිද්ධිය ද සියල්ලන්ටම අමතක වී ගියා.
 
2020 ජනවාරිය උදාවෙද්දි නිලූකාගේ සැමියා මිතුරන් මාර්ගයෙන් තොරතුරු ලබා ගනිමින් තමාට වාරයක් එනතුරු සිටියා.
 
ඊළඟ සැලැස්ම ක්‍රියාත්මක වූයේ ඉකුත් දහවැනිදා අලුයම් කාලයේදීයි. පළමුවට වැරදී ගිය ඉලක්කය දෙවැනි වර වැරදීමට ඉඩ නොතැබිය යුතු බව ඔහු සිතන්නට ඇති. ඒ නිසා ඔහු මෙවර කොන්ත්‍රාත්තුව දුන්නේ ඇය කෙසේ හෝ ඝාතනය කිරීමේ අරමුණ ඇතිවයි. මෝටර් සයිකලයකින් නිලූකා නතරව සිටි හෝටලයට පැමිණෙන දෙදෙනෙකු නිලූකා කපා වෙඩි තබා මරා දමන්නේ ඉන් අනතුරුවයි. එවර ඉලක්කය වැරදුණේ නැහැ. එකෙකු ගෙල කපා නිලූකා බිම ඇද දමද්දි අනෙකා සිය ගිනි අවියෙන් නිලූකාට පිට පිට වෙඩි තැබුවා. එම ප්‍රහාරයෙන් දිවි ගලවා ගැනීමට නිලූකාට හැකි වූයේ නැහැ. නිලූකා එතැනට අවසන් හුස්ම හෙළූවා.
 
මේ පිළිබඳ විමර්ශන ඇරඹූ පොලිසිය පොලිස් අධිකාරි උදය කුමාර ගේ උපදෙස් අනුව ක්‍රියා කළා.
 
"සීසීටිවි කැමරා දර්ශණ දුරකථන කුළුණු ඔස්සේ විශ්ලේෂණ වාර්තා ජීපීඑස් තාක්ෂණය මට්ටමේ තොරතුරු හෝඩුවාවක් අනුව අපි විමර්ශනය කළා. ඒ අනුව අපිට පෙනී ගියා මේ කාන්තාව මරන්න මෝටර් සයිකලේ දෙන්නාට අමතරව තවත් මෝටෝරියක් ද ආපු බව. අපි ඒ ඔස්සේ විමර්ශනය කළා. ඒ අනුව නිලූකාගේ ඝාතනය සම්බන්ධයෙන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපිට හැකිවුණා..."
 
ඒ අනුව මෙවරද නිලූකා ඝාතන කොන්ත්‍රාත්තුව භාර දී ඇත්තේ ඇගේ සැමියා විසින්ම බව අනාවරණය වුණා.
 
විමර්ශනවලදී හෙළිවන ආකාරයට නිලූකාගේ සැමියා මෙම කොන්ත්‍රාත්තුව දී ඇත්තේ අම්බලන්ගොඩ පදිංචි පුද්ගලයෙකුටයි. ඔහු ඊට තවත් හිතවතෙක් සම්බන්ධ කරගෙන තිබෙනවා.
 
ඒ අනුව නිලූකා ඝාතනය පැවරෙන්නේ අවිස්සාවේල්ල පදිංචි හිටපු සෙබළෙකුටයි. ඔහු සේවයෙන් ඉවත් කළ අයෙක්. ඔහු විවාහකයෙක් වූ අතර අවිස්සාවේල්ල බිරියගේ නිවසේ පදිංචිව සිටිනවා.
 
ලබාගත් කොන්ත්‍රාත්තුව සඳහා හිටපු සෙබළා තවත් සඟයෙකු එක්කර ගෙන තිබෙනවා. ඔහු දැරණියගල පදිංචි අයෙක්. නිලූකා මරන්න එන යතුරු පැදිය පදවන්නේ ඔහු විසිනුයි. මන්නා පිහිය යතුරුපැදියේ සඟවාගත් ඔහු එස්.ටී.එෆ්. සෙබළා පිටුපසට නංවාගෙන ගාල්ල බලා යන්නේ ගිනි අවියත් රැගෙනයි.
 
අලුයම උණවටුන හෝටලයට ඇතුළුවන මොවුන් නිලූකා අසළට ගොස් සිය යතුරුපැදිය නතර කර ඉන් බැස තිබෙනවා. එවිට නිලූකා සිට ඇත්තේ දරුවා සමඟයි. ඒ අසළ තවත් සේවකයින් දෙදෙනෙකුද සිටියාත එකෙකු දරුවා එතනින් ඉවත් කරද්දි අනෙකා අත තිබූ මන්නයෙන් නිලූකාගේ ගෙලට පහර දී තිබුණා. පහර කෑ ඈ එතැනම ඇද වැටෙද්දි හිටපු සෙබළා සිය ගිනි අවියෙන් නිලූකාට වෙඩි තබා තිබෙනවා. අනතුරුව ඔවුන් එතැනින් පලා යනවා.
 
පොලිසිය මේ වනවිට නිලූකාගේ සැමියා හැර ඝාතනයට සම්බන්ධ වූ පස්දෙනාම කොටුකරගෙන හමාරයි. නිලූකා ඝාතනය කිරීමට යොදාගත් අවි ආයුධද වාහනද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
 
නිලූකාගේ සැමියා විසින් සැකකරුවන්ට ලක්ෂ 23ක මුදලක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒවා ගිණූම්වලට බැර කර ඇත්තේ යුරෝ මුදල් වලිනුයි.
 
ලක්ෂ 23ක කොන්ත්‍රාත්තු මුදලෙන් ඝාතනයට සෘජුව සම්බන්ධ වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගිනුත් අනිත් අයට රුපියල් ලක්ෂ 13 බැගිනුත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සැමියා නිලූකා මරා දමන්නට මේ වන විට ලක්ෂ 53ක් වියදම් කර තිබෙනවා.
 
සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර නිලූකා ඝාතනය කොට දින 10ක් යන්නට මත්තෙන් සැකකරුවන් කොටුකරගැනීමට හබරාදූව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණෟඩායමට හැකිවීම ඉහළ නිලධාරින්ගේ ප්‍රශංසාවට ලක්වුණා.
 
කීර්ති මෙන්ඩිස්
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top