චීනය සහ රුසියාව වෛරසයට එරෙහි මෙහෙයුමක
Wednesday, 29 January 2020 - 22:00 | Views - 788

මාරාන්තික නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉදිරි දින 10 තුළදී තවත් උග්‍ර අතට හැරෙනු ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.
මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් චීනයේ පුද්ගලයින් එකසිය තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ 2003 වසරේ චීනයෙන් ඇරඹි ලොව පුරා පැතිරුණු සාර්ස් වෛරසයටත් වඩා කොරෝනා වෛරසය බලවත් සහ පැතිරයාම වේගවත් බවයි.
නව කොරෝනා වෛරසය පළමු වරට චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන් වාර්තා වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.
මේ වනවිට වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 5,974 දෙනෙකු චීනයෙන් වාර්තා වන අතර, තවත් පුද්ගලයින් 9,239 කට වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙනවා.
එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ දෛනික වාර්තාවලට අනුව මෙතෙක් ප්‍රතිකාර ලබා සුව වී රෝහල්වලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 60 ක්.
වූහාන් හි රෝහල් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ආසාදිතයින්ට ප්‍රතිකාර කළ වූහාන් හි රෝහලක දැඩි වෙහෙසට සහ කම්පනයට ලක්වූ වෛද්‍යවරියක හඬා වැළපෙන සංවේදී දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට සංසරණය වනවා.
වෛරසයේ තිඹිරි ගෙය වූ වූහාන් හි රෝහල් හැරුණු කොට මං මාවත්වල දැඩි පාළු ස්වභාවයක් උසුලන්නේ ප්‍රදේශයේ ජනතාවට තවදුරටත් සංචාරක සීමා පනවා තිබීම හේතුවෙන්.
වසර 17 කට පසුව චීනය මුහුණදෙන ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ එරට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරෙන සියලූ විනෝදාත්මක වැඩසටහන් අත්හිටුවීමට රජය පියවර ගෙන තිබෙනවා.
චීන ජනාධිපති ෂී ජිං පින් පවසන්නේ කොරෝනා වෛරසය තම රටට පැමිණි යක්ෂයෙකු වූවත්, ඊට සාර්ථකව මුහුණදෙන බවයි.
කොරෝනා වෛරසය පැතිරයාමත් සමඟ මුඛ ආවරණ සඳහා ලොව පුරා දැඩි ඉල්ලූමක් මතුවුණා.
වෙළඳපොලෙහි මිලට වඩා හය ගුණයක් වැඩි මිලකට මුහුණු ආවරණ අලෙවි කළ ඖෂධ සැලකට ඇමරිකානු ඩොලර් 4000ක දඩ මුදලක් නියම කිරීමට බීජිං පාලනාධිකාරිය පියවර ගත්තේ එවන් පසුබිමකයි.
චීනයද ඇතුළුව රටවල් 17ක නව කොරෝනා වෛරසය මේ වනවිට ව්‍යාප්ත වී ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයද එම රටවල් අතරට එක්වූයේ පවුලේ සාමාජිකයින් සමඟ වූහාන් සිට ඩුබායි හි සංචාරයකට පැමිණි ආසාදනයට ලක්වූ චීන ජාතිකයෙක් හමුවීමත් සමඟයි.
මැද පෙරදිගින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන්නේද ඔහුයි.
මේ වනවිට ඇමරිකාව, ජපානය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් වූහාන් සිටින තම ජනතාව ගුවන් මගින් ඉවත් කර ගැනීම ආරම්භ කර තිබියදී, බ්‍රිතාන්‍ය ගුවන් සේවාව චීනය සමග සියලූ වාණිජ ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් ලෙසින්.
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ චීනයේ සිට රැගෙන එන ඕස්ට්‍රේලියානුවන් අනවසර සංක්‍රමණිකයන් රඳවා තබන ක්‍රිස්මස් අයිලන්ඞ් හි දින 14ක කාලයක් රඳවා නිරීක්ෂණයට භාජනය කරන බවයි.
ක්‍රිස්මස් දූපතේ ඉදිකර ඇති සංක්‍රමණික නිවාස මිනිස් වාසයට නුසුදුසු බවට මීට පෙර ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වූ අතර, මේ වනවිට එහි රැඳී සිටින්නේ ඕස්ට්‍රේලියාව බලා අනවසරයෙන් සංක්‍රමණය වූ සිව් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකික පවුලක් පමණක් වීම විශේෂත්වයක්.
හොංකො සහ චීනය අතර සියලූ ප්‍රවාහන පද්ධතීන්ද නවතා දැමීමට හොංකොං බලධාරීන් පියවර ගත්තා.
නව කොරොනා වෛරසයට සමාන වැඩිදියුණු කළ වෛරසයක් චීනයෙන් පිටත රසායනාගාරයක් තුළ පළමු වරට නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එම තොරතුරු බෙදාගැනීමට සූදානම් වන ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින්ගේ බලාපොරොත්තුව වන්නේ කොරෝනා වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී මෙය භාවිත කිරීමටයි.
චීනයේ විද්‍යාඥයින් කණ්ඩායමක්ද මීට පෙර මෙවැනි අත්හදා බැලීමක් කළ නමුත් එය සාර්ථක වූයේ නැහැ.
මේ අතර, චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොරෝනා වෛරසය සමාජයට මුදාහැරුණු ආකාරය පිළිබඳවද විවිධ මත පළ වනවා. නාගයින්, වවුලන් ආශ්‍රිතව මෙම වෛරසය මිනිසාට ආසාදනය වන්නට ඇතැයි මුලින් පළ වූ මතයක්.
එසේම, චීනයේ වූහාන් නගරයේ වෛද්‍ය පර්යේෂණාගාරයකින් මෙම වෛරසය අත්වැරදීමකින් සමාජයට මුදාහැරුණු බවටද මේ වනවිට විවිධ මත පළ වනවා.
කෙසේ වෙතත්, 2011 වසරේ ඇමරිකානු වෝනර් චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළ කොන්ටැජන් චිත්‍රපටය මෙම සිද්ධි දාමයට බොහෝ සෙයින් සමාන කතාවක් ගොඩනගා තිබුණා.
හොංකොං ආශ්‍රිතව සමාජයට මුදාහැරෙන වෛරසයක් මුලින් ඇමරිකාවත්, ඉන් පසු ලෝකයේ රටවල් බොහෝ ගණනක් ආක්‍රමණය කරන අයුරු එයින් විදහා දැක්වුණු අතර, චිත්‍රපටයේ අවසානයේ සඳහන් වන්නේ එම වෛරසය වවුලෙක් ආශ්රයෙන් සමාජගත වූ බවයි.
වසර 09 කට පසු අප අත්විඳින්නේ එම නිර්මාණයේ යථාර්ථයද ?
Share This Article