චීනයේ සිට ශ්‍රී ලාංකිකයන් 93 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ පස්වරු 6.20ට ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී ඉසෙඞ් 359 දරණ යානයෙන් සහ එයාර් චයිනා ගුවන් සේවයේ සී.ඒ. 425 දරණ යානයෙන් එරට ඉගෙනුම ලබමින් සිටි 68 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළට පැමිණි බවයි ගුවන් තොටුපළ සෞඛ්‍ය ඒකකය සඳහන් කළේ.
එමෙන්ම, අද අලුයම 5.10ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 881 දරණ යානයෙන් තවත් 25 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.
මෙම පිරිසගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ වෛද්‍යවරුන් ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා නිවෙස් කරා යොමු කර ඇති බවයි ගුවන් තොටුපළ කාර්ය භාර නිළධාරීවරයා හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.
චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ. යෝගානන්දන් සදහන් කළේ චීනයේ ඉගෙනුම ලබන සිසුන් 380 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ ඇති බවයි. එමෙන්ම තවත් 484 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව ද ඔහු සදහන් කළා.
මේ අතර, අයි.ඩී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායාතනයේ කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාව සමඟ තවත් 8 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.
ඊයේ දිනයේදී බලපිටිය රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි හෝටල් සේවිකාවක් අයි.ඩී.එච්. රෝහලට මාරුකර එවා තිබුණා.
එම රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ ප්‍රතිකාර ලබන අය අතරින් හත්දෙනෙකුම චීන ජාතිකයන් වන බවයි.
එම හත්දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව අද පස්වරුව වනවිට ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරසය ආසාදිත වූ චීන කාන්තාව මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බවද ඊයේ වාර්තාවුණා.
එහි වෛද්‍යවරයෙකු කියා සිටියේ තවත් දින දෙකකින් පමණ ඇය රෝහලෙන් පිටත් කර යැවීමේ හැකියාවක් පවතින බවයි. විශේෂ සංකූලතා නොමැතිවීම හේතුවෙන් ඇයගේ තත්ත්වය යහපත් අතට පත්වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පසුගිය 19 වනදා චීනයේ හුබෙයි ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණි 43 හැවිරිදි චීන ජාතික මෙම කාන්තාව තවත් පිරිසක් සමඟ දිවයිනට පැමිණ තිබුණා.
කෙසේ වෙතත්, එම කාන්තාව මෙරටින් පිටව යන අවස්ථාවේදී ඇති වූ උණ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුළත් කෙරුණේ.
එහිදී ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු කර ගනු ලැබුවා.
එසේම මෙරට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.
එම කාර්යාලය නිවේදනය කළේ මේ පිළිබදව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසටයි. වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා තවදුරටත් පියවර රැසක් ක්‍රියාත්මක බවද එම නිවේදනයේ දැක්වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම බලධාරීන් වෙත වර්තමාන තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකිවන පරිදි පැහැදිළි මාර්ගෝපදේශයක් ද ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ ක්ෂේත්‍ර කිහිපයක නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.