කොරෝනා වෛරසයට හේතුව වවුලන්ද? පර්යේෂකයෝ සැක පහළ කරති
Tuesday, 28 January 2020 - 12:11 | Views - 642

දැනට සිදුකර ඇති පර්යේෂණවලට අනුව චීනයේ සීඝ‍්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් නිවුමෝනියා රෝගයට හේතු වී ඇති කොරෝනා වෛරසය වවුලන් තුළ පවතින එම වෛරසය හා සමීප සබඳතාවක් පවතින බවට හෙළිවී ඇතැයි ඇමරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කර තිබේ.
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ එම වෛරසයට ගොදුරුවූ රෝගීන් බොහෝ දෙනකු නගරයේ පිහිටි මුහුදු ආහාර හා සත්ත්ව ඝාතකාගාර වෙළෙඳ පොළ හා සම්බන්ධ වූවන් වීම මෙම නිගමනය තහවුරු කෙරෙන කරුණක් වී ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.
මෙතෙක් මෙම නව කොරෝනා වෛරසය මිනිසාට සම්පේ‍්‍රෂණය වී ඇත්තේ කුමන සතා ගෙන්දැයි නිශ්චිතව ප‍්‍රකාශවී නැති අතර නයි ඇතුළු සතුන් එයට හේතු වන්නට ඇති බව සැක කර තිබේ.
වවුලන් පරිභෝජනය කිරීමට ඇතැම් චීන ජාතිකයන් පෙළඹී සිටීම මත මෙම පැතිර යන කොරෝනා වෛරසය වවුලන්ගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වන්නට ඇතැයි දැනට සැක පළවී ඇතැයි පර්යේෂකයෝ කියා සිටිති.
මෙයට පෙර චීනයෙන් පැතිරීම ආරම්භ වූ ‘සාර්ස්’ රෝගයට හේතුවූ වෛරසය මිනිසාට සම්පේ‍්‍රෂණය වී ඇත්තේ ‘සිවෙට් කැට්’ නමැති සත්ත්ව විශේෂයෙන් බව තහවුරු වීම නිසා 2004 වසරේදී එම සතුන් අලෙවිය හා ආහාරයට ගැනීම චීන බලධාරීන් විසින් තහනම් කර තිබිණි.
උපුටාගැනීම -දිවයින
Share This Article