කොරෝනා වෛරසයට ගොදුරු වූ චීනයෙන් ශ්‍රී ලාංකික සිසුන් ඉවත් කර ගැනීම ඇරඹේ
Monday, 27 January 2020 - 19:44 | Views - 1,755
කෙරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් යානයක් එම නගරය පිහිටි හුබෙයි ප්‍රාන්තයට ගොඩබැස්සවීමට ලක් රජය චීනයෙන් අවසර ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු රටකට මේ දක්වා ඊට අවසර හිමි වී නොමැති බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ඉනෝකා වීරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, චීනයේ ටියැන්ජිං ප්‍රාන්තයේ සිට සිසුන් 21 දෙනෙකු අද දහවල් ශ්‍රී ලංකාව බලා පිටත් වී තිබෙනවා. සිචුආන් ඇතුළු විවිධ ප්‍රදේශවල සිට ගුවන් තොටුපළ දක්වා බස් රථ මගින් එම සිසුන් රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.  

ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිසුන්ට ගුවන් ටිකට්පත් සඳහා සියයට 50ක විශේෂ වට්ටමක් ද ප්‍රදානය කෙරෙනවා. ඒ සඳහා 0094 77777 1979 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින සිසුන් නිරන්තර පරීක්ෂාවන්ට යොමු විය යුතු අතර, විටින් විට ශරීර උෂ්ණත්වය නිරීක්ෂණය කරමින් සෞඛ්‍ය තත්ත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීම සඳහා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත පත් කෙරුණු ජාතික ක්‍රියාකාරී කමිටුව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වී ඇති බවයි වාර්තා වන්නේ. මෙම කමිටුවට ජනාධිපති අතිරේක ලේකම් රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, ඇතුළු 15 දෙනෙකු ඇතුළත්.

මේ අතර, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසන්නේ කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි. ඒ සඳහා සියලූම අංශ සම්බන්ධීකරණය කරමින් තම අමාත්‍යාංශය කටයුතු කරන බව ඇය කියා සිටියා.

එමෙන්ම, වෛරසය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ මෙන්ම, කොළඹ සහ ගාල්ල වරායන්හි ද, විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණවලදී හෙලි වී තිබෙනවා. සැකකටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් චීන ජාතිකයින් තුන්දෙනෙකු සහ එක් ශ්‍රී ලාංකිකයෙකු අංගොඩ උණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබුවේ ඊයේ සහ පෙරේදා දිනයන්වලදීයි. මීට අමතරව මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඊයේ පැමිණි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් සහ පාකිස්ථාන ජාතික පුද්ගලයෙකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් කෙරුණා.

කොරෝනා වෛරසය ශරීරගත වී ඇති බවට වූ සැකය මත රෝගීන් 5 දෙනෙකු අයි.ඞී.එච්. හෙවත් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

මේ අතර, චීනයේ සිට පැමිණෙන මගීන් වෙනම දොරටුවකින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයට ඇතුළත් කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව සෑම ගුවන් මගියෙක්ම උණ රෝගය පරීක්ෂා කිරීම සඳහා භාවිත කෙරෙන විශේෂ ස්කෑනර් යන්ත්‍ර හරහා පරික්ෂාවට ලක් කිරීම ද සිදු කෙරෙනවා.

මේ අතර, කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සංචාරකයන් ඇතුළු චීන ජාතිකයන් වැඩි වශයෙන් පැමිණෙන දකුණු පළාතේ සියළු අංශ දැනුවත් කිරීමට කටයුතු කළ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසනවා. දකුණු පළාතට චීන ජාතික සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන අතර වැඩබිම් ආශ්‍රිතවද චීන ජාතිකයන් සේවය කරනු ලබනවා. ඒ හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් සංචාරක හෝටල් හිමියන් සහ වැඩබිම් ආශ්‍රිත ප්‍රධානීන්ද දැනුවත් කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top