ඇලෙක්සැන්ඩර් ඩූමාස් ප්‍රංශයේ ජීවත් වූ ප්‍රකට ලේඛකයෙකි. ඩූමාස් වර්ෂ 1802 ජූලි මස 24 දින ප්‍රංශයේ විලර් කොටෙරෙස්ට්හි උපත ලැබීය. ඔහුගේ පියා කලක් නැපෝලියන් අධිරාජ්‍යයාගේ හමුදාවේ ජෙනරාල්වරයකු විය. පසුව හමුදා සේවයෙන් විශ්‍රාම ගත් හේ පාවහන් සාදන්නකු ලෙස ජීවිකාව ගෙන ගියේය. ඇලෙක්සැන්ඩර් ඩූමාස් සිවු හැවිරිදි වියේ පසුවෙද්දී ඔහුට ඔහුගේ පියා අහිමි විය. තමාට වීර කතා පැවැසීමටත්, තමාගේ ආවේගයන් සමනය කිරීමට හා දුක සැප බෙදාගැනීමටත් සිටි හවුල්කාරයා ඩූමාස්ට අහිමි විය. පියාගේ මරණයෙන් පසුව ඩූමාස්ගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ පියා සතුව තිබූ තුවක්කුවත් රැගෙන නිවෙසේ උඩු මහල වෙත දිව යෑමයි. ඔහුගේ මව ඔහු වළක්වා මෙසේ ඇසුවාය.
“පුතා කොහෙද මේ යන්නේ?”
“මම යනවා දිව්‍ය ලෝකයේ”
“ඒ මොකටද පුතා?” මව නැවතත් ඩූමාස්ගෙන් ඇසුවාය.
“මගේ තාත්තා මරා දැමීම නිසා මම දෙවියන්ව මරනවා” එය කුඩා ඩූමාස්ගේ පිළිතුර විය.
පියාගේ මියයෑමෙන් ඇති වූ අගහිඟතා නිසා ඩූමාස්ට සම්පූර්ණ මූලික අධ්‍යාපනයක් හෝ උසස් අධ්‍යාපනයක් ලැබීමට නොහැකි විය. කෙසේ වුවත් ඔහු ස්වෝත්සාහයෙන් කියවීම හා ලිවීම උගත් බවත් බාලවියේ පටන්ම ලිවීමට රුචියක් දැක්වූ බවත් වාර්තා වෙයි. පවුලේ නඩත්තුවට උපකාර වනු පිණිස බාලවියේ සිටම සුළු සුළු කාර්යයන්හි යෙදීමට ඔහුට සිදුවිය. පසුව ඩූමාස්ගේ මව තමා හඳුනන අයගේ උපකාරය ඇතිව ඔහුට නීතිඥයකු යටතේ රැකියාවක් සොයා දුන්නාය. මේ කාලයේදී ලියුවෙන් නම් වංශාධිපතියකු සමඟ මිත්‍රත්වයක් ඇති කරගත් ඩූමාස් ප්‍රකට සාහිත්‍යධරයන්ගේ කෘතීන් කියවීමට පටන් ගත්තේය. එයින් ඔහුගේ දැනුම වර්ධනය වන්නට විය. නිතරම නාට්‍ය නැරඹීම සඳහා ගිය හේ නාට්‍ය පිළිබඳව වූ තම ඇල්මද වර්ධනය කොට ගත්තේය. ඔහු ලියුවෙන් සමඟ එක්වී ඒකපුද්ගල රංගන නාට්‍යයන් තුනක් නිපදවීම සඳහා දායක විය. පසුව ඩූමාස් විසින් “ක්‍රිස්ටීන්” නම් තමාගේ ප්‍රථම නාට්‍ය රචනා කරනු ලැබීය. 1831 මැයි මාසයේ ප්‍රදර්ශනය කරනු ලැබූ ඩූමාස්ගේ “ඇන්ටනි” නම් නාට්‍ය ඔහුගේ ශේර්ෂ්ඨත්වය විදහාපෑවේය.
පසුව නවකතාකරණයට පිවිසි ඩූමාස් පාඨක ජනතාව ඓතිහාසික ප්‍රබන්ධ කියවීමට ලොල් කරන බව වටහාගෙන වඩාත්ම එම අංශයට බරවිය. කුතුහලය දනවන සිදුවීම්, වෙස් මාරුකිරීම්, ද්වන්ධ යුද්ධ හා එඩිතර ක්‍රියාවලින් සමන්විත ඔහුගේ කතා ප්‍රංශ පාඨකයන්ගේ පමණක් නොව යුරෝපීය පාඨකයන්ගේද සිත් ඇදබැඳ ගනු ලැබිණි. මස්කට් නම් ගිනි අවි අතැති වීර සෙබළුන් තිදෙනකු වටා ගෙතුණු The three masketeer හා The count of Monte Cristo ඔහුගේ අතිශයින් ජනප්‍රිය වූ කෘතීන් දෙකකි. මේවා ඔහුව ප්‍රසිද්ධියේ ජය කණුව කරා ගෙනයෑමට සමත් විය. ඔහුගේ පෑන් තුඩින් ලියැවුණු වදන් සඳහා බොහෝ සේ මුදල් ගලා ආවේය. “මොන්ටි ක්‍රිස්ටෝ” ලෙස නම් කරන ලද ඔහුගේ නිවෙස තැනීම සඳහා ඔහු දක්ෂතම තාක්ෂණික ශිල්පීන් හා කලාකරුවන් යොදා ගත්තේය. ඩූමාස්ගේ මාසික ආදායම රුපියල් 400,000ත් රුපියල් 500,000ත් අතර ප්‍රමාණයක් විය.
වරක් ඩූමාස්ගේ සාර්ථකත්වය පිළිබඳව නොරිසි වූ ලේඛකයෙක් ඔහුගෙන් මෙසේ විමසීය. “ඩූමාස් මහත්මයා මේ නීගේරා්වරු ගැන ඔබේ අදහස කුමක්ද? මම හිතන හැටියට ඔබේ නහරවලත් නීගේරා් ලේ තියෙනවා ඇති” (මෙය ඔහුගේ මිත්තණිය නීගේරා් කාන්තාවකැයි යන මතය ඔස්සේ නැඟූ ප්රශ්නයකි.)
ඩූමාස් ප්‍රසන්න සිනහවකින් එයට පිළිතුරු දුන්නේය. “ඔබට කිසිසේත්ම වැරදිලා නැහැ. මගේ මිත්තණිය නීගේරා් කාන්තාවක්. ඒ වගේම මගේ අනෙක් මුතුන් මිත්තෝ වඳුරන්. මගේ පරපුරේ පරිණාම පුරුක පටන් ගත්තේ ඔබේ පරපුරේ පුරුක අවසන් වන තැනින්....”
ඩූමාස් උසින් වැඩි සිහින් සිරුරක් ඇති අයකු විය. ඔහුගේ හිසකේ කැරලි ගැසී තිබිණි. ඔහු හොඳ ආහාර මෙන්ම යහපත් මිත්‍ර සමාගමයද ප්‍රිය කළේය. ඩූමාස් කාන්තාවන් බොහෝදෙනකු සමඟ සම්බන්ධතා පැවැත්වූ අයෙක් විය. ඔහු පළමුවෙන්ම තරුණියකට ආදරය කළේ දහසය හැවිදි වියේ පසුවෙද්දීය. නීතිඥවරයා යටතේ සේවය කරන කාලයේ ඇඩෙල් ඩැල්වින් නමැත්තිය සමඟ විවාහ විය. එම විවාහයෙන් ඇඩෙල් පුතකු ලැබුවාය. ඩූමාස් වෙනත් කාන්තාවන් රැසක් සමඟද සම්බන්ධතා පැවැත්වීය. බෙල් කේරබ්සේමර්, ඉඩා ෆෙරියල්, එම්ලි කෝඩියර්, ඇඩා ඉසැක්ස් මේ කාන්තාවෝ ඔවුන් අතර වෙති.
1870 දෙසැම්බර් මස 05 දින ඩූමාස් මියගියේය. මුළු යුරෝපයම තමාගේ නාට්‍යයන් හා ඓතිහාසික නවකතාවලින් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ ඔහු මියගියේ කිසිදු ගෞරවයක් නොලබාය. ඩූමාස්ගේ මරණය පිළිබඳව පුවත්පත්වල පවා පළ කර තිබුණේ සාමාන්‍ය මතක් කරදීමක් ලෙසිනි. ඔහුගේ අවමඟුලට පැමිණියේද සුළු පිරිසකි. ඩූමාස්ගේ අවසන් ඉල්ලීමට අනුව ඔහුගේ දේහය තමා උපන් ගම්මානයේ මිහිදන් කරනු ලැබීය. නමුත් 1872දී ඩූමාස්ගේ පුත්‍රයා තම පියාගේ දේහයේ ඉතිරි කොටස් දෙවැනි වරටත් විලර් කොටරේට්ස්හි භූමදානය කරවූයේය.
ඇලෙක්සැන්ඩර් ඩූමාස්ගේ ලේඛක ජීවිතයේ අපූරු සිරිතක් දක්නට ලැබිණි. ඔහු එක පොතක් ලිවීමට එක පෑන බැගින් මිලට ගත්තේය. ඔහු කිසි විටෙක පරණ පෑනකින් අලුත් පොතක් ලීවේ නැත. එපමණක් නොව ඔහු තමා ලියන පොතේ ස්වභාවය අනුව ලියන කඩදාසිද වෙනස් කළේය. කහ පාට ලිවීමේ කඩදාසි යෙදුවේ කවි ලිවීමටය. එසේම පත්‍ර , සඟරා ආදියට සපයන ලිපි රෝස පැහැති කඩදාසිවලද කතා නිල් පැහැති කඩදාසිවලද, නාට්‍ය පිටපත් කොළ පැහැති කඩදාසිවලද ලීවේය.
ජයන්තා කුමාරි සමණබැද්ද
85 Views
105 Views
269 Views
170 Views
146 Views
158 Views
147 Views
120 Views
185 Views
137 Views
148 Views
219 Views
254 Views
707 Views
78 Views
41 Views