කොරෝනා වෛරසය නිසා චීනය වන සත්ව මස් වෙළඳාම අත්හිටුවයි
Sunday, 26 January 2020 - 14:33 | Views - 3,365

මාරාන්තික කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් රට පුරා වන සත්ව මස් වෙළඳාම තහනම් කිරීමට චීනය අද පියවර ගත්තා.
ඒ අනුව චීනයේ වන සත්ව වෙළඳපොලවල මෙන්ම සුපිරි වෙළඳසැල්, අවන්හල් සහ අන්තර්ජාල වේදිකා හරහා වන සත්ව මස් විකිණීම තහනම් වනවා.
සජීවී සත්වයින් පවා අලෙවි කෙරෙන චීනයේ වන සත්ව වෙළඳපොල කොරෝනා වෛරසයේ ආරම්භය සිදුවූ ස්ථානය ලෙසයි ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
චීනයේ අන්තර්ජාල වේදිකා හරහාද සර්පයින්, මොණරුන් කිඹුලන් ආදී වන සතුන් පවා මස් සඳහා අලෙවි කෙරෙනවා.
කෙසේ නමුත් චීන කෘෂිකර්ම අමාත්‍යාංශය සහ වන කාර්යාංශය නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයක දැක්වෙන්නේ මස් සඳහා වන සතුන් ඇති කිරීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීම දැනට පවතින කොරෝනා වෛරස් වසංගතය නිමාවනතුරු තහනම් වන බවයි.
සාර්ස් වෛරසයට සමාන කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 56 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ආසාදිතයන් සංඛ්‍යාව 2,000 කට අධිකයි.
මේ අතර නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර ගතව පැතිරෙන කොරෝනා වෛරසය ආසාදනය වූ එක් පුද්ගලයෙකුගෙන් අවම වශයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට හෝ තුන්දෙනෙකුට එය සම්ප්‍රේෂණය විය හැකි බවයි.
Share This Article