චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 150ක පිරිසක් ඉදිරි පැය 48 තුළ දිවයිනට
Sunday, 26 January 2020 - 12:37 | Views - 1,706

චීනයේ සිචුආන් ප්‍රාන්තයේ චෙන්ඩු අගනගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් 150කට ආසන්න පිරිසක් ඉදිරි පැය 48 තුළ මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබෙනවා.
ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් යෙදවීමට කටයුතු කර ඇති බවයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ කියාසිටියේ.
නැනින්ග් හි සිටින තවත් සිසුන් 30 දෙනෙකු පිළිබඳ තොරතුරු තානාපති කාර්යාලය වෙත ලැබී ඇති අතර ඔවුන් ද කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර ගනු ඇති.
වූහාන් ප්‍රාන්තයට පිවිසීම සහ ඉන් පිටවීම චීන බලධාරීන් විසින් මේවනවිට තහනම් කර තිබෙනවා.
එම තහනම ඉවත් කළ වහාම එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට සියලු විධි විධාන සලසා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
වූහාන් සහ සිචුආන් ප්‍රාන්තවල සිටින ලාංකික සිසුන් ඇතුලු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධි විධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.
මේ සඳහා ජනාධිපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
චීනයේ විසිර සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු රැස් කරමින් පවතින බව විදේශ සබඳතා අමාත්‍යංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ ප්‍රකාශ කළා.
තානාපති කාර්යාල නිලධාරීන් සහ ශ්‍රී ලාංකිකයන් අතර සංනිවේදනය we chat භාවිතයෙන් සිදු කෙරෙනවා.
චීනයේ සිට ශ්‍රී ලංකාවට එන සියලුදෙනා ගුවන්තොටුපොළේ සිට නිරෝධායන ක්‍රියාවලියට ලක්කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.
කිසියම් අයෙකු උණ රෝග තත්වයෙන් පෙළෙන බවට හඳුනාගනු ලැබුවහොත් ඔවුන් අයි ඩී එච් රෝහලට යොමු කෙරෙන අතර එවැනි අයගේ රුධිර සහ මූත්‍රා සාම්පල බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කෙරෙනු ඇති.
පවතින තත්වය සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා.
රෝග නිරීක්ෂණ හැකියාව වෛද්‍ය පර්යේෂණායතනය සතුව පවතින අතර යම් හෙයකින් වෛද්‍ය උපකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ගුවන් මගින් ගෙන්වා ගැනීමට උපදෙස් ලැබුනු බව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියාසිටියා.
Share This Article