කොරෝනා මර්දනයට කටුනායක සීරුවෙන්
Saturday, 25 January 2020 - 18:27 | Views - 1,548

චීනය පුරා මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබව කටුනායක ගුවන්තොටුපළ ද සිය අවධානය යොමු කර තිබේ.
දිනපතා චීනයේ බෙයිජිං, ග්වැන්ෂෝ සහ චෙංඩු යන ජාත්‍යන්තර ගුවන්- තොටුපළවල සිට ගුවන් මගීන් 1,000 ක් පමණ රැගෙන ගුවන් යානා 04 ක් පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙයි.
තද උණ සහ ශ්වසන අපහසුතා මෙම කොරෝනා වෛරස රෝගයේ මූලික ලක්‍ෂණ බව අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම රෝග ලක්‍ෂණ පහළ කරන ගුවන් මගීන් තම ගුවන් යානා වලින් පැමිණෙන්නේ නම්, ඒ පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා කළ යුතු බවට, එම යානාවල ගුවන් නියමුවන් දැනුවත් කර තිබේ.
ඊට අමතරව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ද, මෙවැනි රෝග ලක්‍ෂණ තිබෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාව තුළට තම කවුළු ඔස්‌සේ පැමිණෙන්නේ නම් ඒ බැව් ද ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත දැනුම් දීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. එමෙන්ම ගුවන් මගින් පැමිණෙන සියලුම මගීන්ගේ සිරුරුවල උෂ්ණත්වය මැන, වාර්තා කිරීම සඳහා විශේෂ ස්‌වයංක්‍රීය යන්ත්‍ර 03 ක් ද කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ස්‌ථාපිත කර තිබේ. මෙම මූලාශ්‍ර මගින් කිසියම් රෝගී ගුවන් මගියකු, ගුවන්තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය වෙත වාර්තා වුවහොත්, ඔවුන් වහාම කොළඹ අයි. ඩී. එච්. උණ රෝහල වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.
කටුනායක - ටී. කේ. ජී. කපිල
Share This Article