ඝාතනය වූ යාපනයේ වෛද්‍ය සිසුවියගේ මව හැඬු කඳුළින් කියූ කතාව - Photos
Saturday, 25 January 2020 - 13:13 | Views - 13,504
ඒ හීනය සැබෑ කරගන්න ඇය ගොඩක්‌ දුක්‌ වින්දා..
අක්‌කගේ වම් අතේ අස්‌ථිය පේන්න පිහියෙන් කපලා...
පිහිය අල්ලපු පාරට අක්කාගේ ඇඟිලි කැපිලා...
 
"දොස්‌තර නෝන කෙනෙක්‌ වෙන්න ඉගෙන ගත්ත මගේ රත්තරන් දුවට මෙහෙම දෙයක්‌ වෙයි කියලා අපි හීනෙකින් වත් හිතුවේ නැහැ. මගේ රත්තරන් දරුවාව හොරු අරන් ගියා වගෙයි. අනේ අපේ පවුලට මොකද මේ වුණේ.." යෑයි කේ. වී. ප්‍රේමා මාලනී මහත්මිය හඬා වැටෙමින් පැවසුවාය.

කිළිනොච්චිය පරන්තන් හි 662 වන බළසේනා මූලස්‌ථානයේ වෛද්‍ය බළකායේ සේවය කරන සිය සැමියාගේ පිහි පහරින් සදහටම සමුගත් හපුහෙට්‌ටිගේ දොන් රෝෂනි කාංචනා (29) වෛද්‍ය සිසුවියගේ තොරතුරු සොයා බැලීම සඳහා බේරුවල වලතර බඳනගොඩ ප්‍රදේශයේ පිහිටි එම නිවසට යන විට ඇයගේ යහළු යෙහෙළියන් මෙන්ම පවුලේ ඥාති මිත්‍රාදීන් එම නිවසට රැස්‌ව සිටි අතර ඔවුන් සියලු දෙනා මේ ඛේදවාචකයෙන් කම්පිතව බලාගත් අත බලාගෙන සිටියහ.
 
මියගිය රෝෂිණී කාංචනා බඳනගොඩ විදුහලෙන් බේරුවල ඩී. එස්‌. සේනානායක විදුහලෙන් සහ මතුගම මධ්‍ය මහ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිට ඇත.
 
කේ. වී. ප්‍රේමා මාලනී මහත්මිය මෙසේද පැවසුවාය.
 
"මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. හැම අවුරුද්දකටම ඉගෙන ගත්ත ගුරුවරුන්ට බුලත් දෙනවා. ඒ තරම් ගුරු භක්‌තියක්‌ තියෙන මගේ දරුවට මොකද මේ වුණේ. මියගිය දවසේ එකයි තිහට කෝල් කරලා කිව්වා මම කෑම කාලා අම්මට කෝල් කරන්නම් කියලා. කෝල් කරේ නැති නිසා මම කෝල් එකක්‌ ගත්තා. කතා කළේ යාපනයේ පොලිසියෙන්. පොලිසියෙන් කිව්වා මේ ෆෝන් එක අයිති කාන්තාවගේ බෙල්ල කපලා මරලා කියලා. මගේ පපුව හිරවෙන්න ආවා. කවුද දෙයියනේ මගේ දුවගේ බත් එක එකට කාලා බෙල්ල කපයි කියලා හිතන්නෙ.." යනුවෙන් ඇය පැවසුවාය.
 
එච්. ඩී. දයානන්ද මහතා මෙසේ පැවසීය.
 
"මියගොස්‌ සිටින්නේ මගේ වැඩිමහල් දියණිය. එයා විවාහ වුණේ 2016.12.31. එයාගේ පවුලේ ප්‍රශ්න තිබුණා. නමුත් මේ වගේ දෙයක්‌ කරයි කියලා අපි හිතුවේ නැහැ. එයා නංගිටයි මල්ලිලා දෙන්නටයි ගොඩක්‌ ආදරෙයි. ලොකු මල්ලිවත් එයාගේම උනන්දුවෙන් වෛද්‍ය විද්‍යාලයට යෑව්වා. නංගිවත් කවදාහරි වෛද්‍ය විද්‍යාලෙට යවනවා කියලා හැමදාම කිව්වා. මම සේවය කරන්නේ කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේ. දරුවාව දොස්‌තර නෝන කෙනෙක්‌ කරන්න මම හීන දැක්‌කා. එයා තුන් වතාවක්‌ උසස්‌ පෙළ කරලා ධෛර්යයෙන්ම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණේ වෛද්‍ය සිහිනය සැබෑ කරගන්න. ඒ හීන හැම එකක්‌ම බොඳවෙලා ගියා..."
 
මියගිය රෝෂණී කාංචනාගේ වැඩිමහල් සොයුරු වෛද්‍ය ශිෂ්‍ය රොෂාන් කලණ මහතා සහෝදර ප්‍රේමය වාවාගත නොහැකිව හැඩූ කදුළින් මෙසේ පැවසුවේය.
 
"මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙන ගන්නේ. නැන්දා කෙනෙක්‌ කතා කරලා කිව්වම මට අදහා ගන්න බැරි වුණා. අක්‌කයි මමයි දෙන්නම තව මාස ගාණකින් වෛද්‍යවරුන් වෙන්න හිටියේ. මම කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් නව වැනියා. අක්‌කා 21 වැනියා. මාවත් වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න හිටිය අක්‌කා අපිව දාලා ගියා. අක්‌ක හැමදාම විසි තිස්‌ වතාවක්‌ ගෙදරට කෝල් කරලා දුක සැප අහනවා. අපි කොහොමද මේ දුක දරගන්නේ. අක්‌කා පොඩි කාලේ විවිධ ඇඳුම් තරගෙට හැමදාම ඇන්දේ වෛද්‍යවරියකට. ඒ හීනය සැබෑ කරගන්න ඇය ගොඩක්‌ දුක්‌ වින්දා. ගිය සෙනසුරාදා පාන්දර හතරට විතර ගෙදර ඇවිත් දවසෙම විවිධ කෑම වර්ග උයලා ගෙදර අයත් එක්‌ක සතුටින් ඉඳලා ඉරිදා උදේ ගියේ. එයාට සැමියාගෙන් ගොඩක්‌ හිරිහැර තිබුණා. අපේ පවුලත් එක්‌ක තියෙන බැඳීම නවත්වන්න අක්‌කගේ සැමියා අක්‌කගේ phone දෙකක්‌ කුඩු කළා..."
 
"අක්‌කට තියෙන්නේ උණුවෙන හදවතක්‌. අක්‌කගේ වම් අතේ අස්‌ථිය පේන්න පිහියෙන් කපලා. ඒකෙන් බේරෙන්න අක්‌කා පිහිය අල්ලලා. එතකොට ඇඟිලි කැපිලා. ඊට පස්‌සේ ඒ මිනිහා අක්‌කගේ බෙල්ල ගැඹුරටම කපලා කලපුවට තල්ලු කරලා.." යෑයි ඔහු හැඬූ කඳුළින් පැවසුවේය. ඇයගේ බාල සොයුරු ඉසන්ත සසින්ත සහ බාල සොයුරිය සඳුනි එරන්දි කිසිවක්‌ කරකියා ගත නොහැකිව වික්‌ෂිප්තව බලා සිටින අයුරු දැකගත හැකිවිය. ඥාති මාමා කෙනෙක්‌ වූ එස්‌. අනුරුද්ධ මහතා හැඬූ කඳුළින් මෙසේ පැවසීය.
 
"බේරුවල බඳනගොඩ ගමෙන් බිහිවෙන්න හිටිය පළමු වෛද්‍යවරිය අකාලයේ අපට අහිමි වුණා..."
 
රෝෂණී කාංචනා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26 දා) සවස දෙකට කාලවිල කන්ද පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.

දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top