මිහිතලයේ විනාශය ආසන්නයි
Friday, 24 January 2020 - 11:25 | Views - 762

විපරීත වෙමින් පවතින ලෝක දේශගුණය නැවතත් යහපත් තත්ත්වයට පත් කරගැනීමට දරනු ලබන ප්රයත්නය අතිශයින් තීරණාත්මක අදියරකට පැමිණ ඇතැයි කීර්තිමත් පරිසරවේදියකු සහ සන්නිවේදකයකු වන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ප්‍රකාශ කර ඇත.
“සති ගණනාවක් පුරා තවමත් ඕස්ට්‍රේලියාව ගිනි ගනිමින් පවතින්නේය. මිහිතලයේ උණුසුම වේගයෙන් ඉහළ ගොස් තිබීම එය නිවාදැමීම දුෂ්කර වීමට එක් හේතුවක් විය. එවන් තත්ත්වයකට පෘථිවිය පත් වූයේ මිනිසාගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසාමය” යැයි මෙම මහා පරිසරවේදියා සමස්ත ලෝක ජනතාව අමතමින් පවසා ඇත. බීබීසී සේවය විසින් ‘වෙනස් වෙන මිහිතලය’ යන තේමාව යටතේ විශේෂ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු මේ බව පෙන්වාදී තිබේ.
ඕස්ට්‍රේලියානු ළැව් ගිනිවලට හේතුවූ කරුණු කීපය අතර දේශගුණ විපර්යාසය එක හේතුවක් විණැයි විද්‍යාඥයෝ පවසති. ඊට බලපෑ සෙසු කාරණා වන්නේ වනාන්තර කළමනාකරණය කරනු ලබන ආකාරය සහ කාලගුණයේ ස්වාභාවික රටාවන්ය යන්න එම විද්‍යාඥයන්ගේ නිගමනය වෙයි. නමුත් ළැව් ගිනි සහ මිහිතලය උණුසුම්වීම අතර සම්බන්ධයක් නැතැයි ඇතැම් දේශපාලනඥයන් විසින් කරනු ලබන සඳහන විකාරයක් ලෙස ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ ඉහත සාකච්ඡාවේදී සඳහන් කළේය. “අප ජීවත් වන මිහිතලය ගිනියම් වීමට හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව අපි හොඳින්ම දන්නා නමුත්, එය නොදන්නාක් මෙන් සිටිමු” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
උද්ගතව පවතින බිහිසුණු තත්ත්වය නිරාකරණය පිණිස ජාත්‍යන්තර සාකච්ඡා සහ ගිවිසුම්වලට රාජ්‍ය නායකයන් කොතෙක් එළැඹියත්, ඒවා සැබවින් ක්‍රියාත්මක වීමට නම් පරිසර විද්‍යාඥයන් ද ඊට මැදිහත් වීමේ අවශ්‍යතාව ද ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ විශේෂයෙන් අවධාරණය කර ඇත.
පසුගිය දෙසැම්බරයේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර පැවැත්වුණු ජාත්‍යන්තර පාරිසරික සමුළුව පිළිබඳව අදහස් දක්වූ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ සංවිධාන ගණනාවක් විසින් එය විග්රහ කරන ලද්දේ බලාපොරොත්තු බිඳ වැටීමක් ලෙසය. මෙම සමුළුවේදී පරිසරයට අදාළ ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ලැබීම කල් තබනු ලැබිණි. එපමණක් නොව, සිය වගකීම් ඉටුකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය එහිදී ෙදා්ෂ දර්ශනයට ද ලක් විය.
“දේශපාලකයන්ට මේක සෙල්ලමක් වුවත් සැබැවින්ම එය එසේ නොවන බව අප හෝ තේරුම් ගත යුතුව ඇත. මේක රාජ්‍ය නායකයන් ආහාර දිරවා ගැනීමට මේසයට ගන්නා රසවත් අතුරුපසක් නොවෙයි. විසඳාගත යුතුව තියෙන හදිසි ප්‍රශ්නයක්. අප දන්නවා ඒක කරන්නේ කොහොමද කියල. එය පවතින ක්‍රමයට එරෙහි වූ පියවරක්. ලෝක නායකයන් ඒ පියවර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටියත්, එම පියවර ගත යුතුම බව අප දන්නවා” යැයි ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ අවසාන වශයෙන් පවසා ඇත.
මවිබිම
Share This Article