හඩ පරීක්ෂාවකට රන්ජන් අද රස පරීක්ෂක වෙත - ශානි රහස් පොලීසියට
Thursday, 23 January 2020 - 8:54 | Views - 390

කටහඩ පරීක්ෂාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත රැගෙන ඒමට නියමිතයි.
ඒ, නුගේගොඩ මහේස්ත්රාත්වරයා පසුගිය දා ලබාදුන් නියෝගයකට අනුවයි. පසුගියදා මන්ත්රීවරයාගේ නිවසේ තිබී සොයාගත් දෘඪ තැටි, සංයුක්ත තැටි, ගිනි අවිය සහ ජීව පතොරොම් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගිය 9 වන දා භාර දී තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායකගේ මාදිවෙල පිහිටි නිවසේ තිබී සොයාගත් හඬ පට සහිත දෘඪ තැටි 9ක්, ඞී.වී.ඞී. තැටි 162ක්, ලැප්ටොප් පරිඝනක යන්ත්රයක්, බලපත්ර රහිත ගිනි අවිය මෙන්ම පතොරොම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නුගේගොඩ මහේස්ත්රාත් එච්.යූ.කේ. පැල්පොල පසුගිය 8 වන දා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබුවා.
අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.
මේ අතර ස්විස් තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් පැහැර ගෙන ගිය බවට පැවසෙන සිද්ධියේ විමර්ශනයට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ශානි අබේසේකරට අද එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
ඒ්, කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න විසින් ලබාදුන් නියෝගයකට අනුවයි.
Share This Article