රැකියා ලක්ෂයේ සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 26 සිට
Wednesday, 22 January 2020 - 19:50 | Views - 1,181

අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට ස්ථාවර ආදායම් මාර්ග විවෘත කරමින් ඉතා කඩිනමින් රජයේ රැකියා ලබාදීමේ ව්‍යාපෘතිය මේවන විට ආරම්භ වී තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සඳහන් කළේ අයදුම්කරුවන් විසින් ජනවාරි 20වනදා පළවූ පුවත්පත් දැන්වීමේ සඳහන් ආකෘතියට අනුව සකස් කළ අයදුම්පත් පෙබරවාරි 15 වනදාට පෙර තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වෙත භාරදිය යුතු බවයි.
ග්‍රාම නිලධාරීවරයා විසින් තොරතුරු සහතික කර තම ප්‍රාදේශීය ලේකම් වෙත පෙබරවාරි 20වනදාට පෙර භාර දිය යුතු වනවා.
ග්‍රාම නිලධාරී විසින් තොරතුරු තහවුරු කර ගැනීමේදී ප්‍රදේශයේ බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂයෙන්, කොට්ඨාශය භාර මහජන නියෝජිතයාගෙන් කරුණු විමසිය හැකි බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ.
වැරදි තොරතුරු තහවුරු කිරීම රැකියාව අත්හිටුවීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගැනීමට යටත් බව ද එහි සඳහන්.
ප්‍රාදේශීය ලේකම්වරුන් වරින් වර මෙම කටයුතු අධීක්ෂණය කරමින් රැකියා කළ හැකි දිළිඳුම පවුල්වලට මුල්තැන ලැබෙන පරිදි වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම සහතික කිරීමට කටයුතු කළ යුතු වනවා.
ග්‍රාම නිලධාරීන්ගෙන් ලැබෙන තොරතුරු අයදුම්පත් මනා ලෙසට ලේඛනගත කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් පෙබරවාරි 25 වන දින වන විට සම්පූර්ණ කළ යුතුයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී සහ ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරන වෙනත් පොදු ස්ථානවලදී තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් පෙබරවාරි 26 වනදා සිට දින 5ක් තුළ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ග්‍රාම නිලධාරී සහතික හා වෙනත් ලියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
තෝරාගත් අයදුම්කරුවන්ට බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායේ පුහුණුවීමේ පත්වීම් ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී මගින් ලබාදෙනු ඇති.
පුහුණුවීම් මාර්තු මස 2වනදා ආරම්භ වනවා.
පුහුණු කාලය තුල මසකට රුපියල් 22500ක දීමනාවක් ගෙවන අතර මනා පුහුණු ලාභීන් ඔක්තෝම්බර් මස පළමුවනදා සිට විශ්‍රාම වැටුප් හිමි ස්ථිර සේවකයන් ලෙසට පත් කෙරෙනවා.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් සුවිශේෂී ශ්‍රම සංචිතයක් නිර්මාණය කරනු ඇති.
වෘත්තීයවේදීන් විසින් කළමණාකරණය කරනු ලබන ශ්‍රම සංචිතය අඩු අධ්‍යාපනික සුදුසුකම් සහිත හා අඩු ආදායම්ලාභී ගණයෙහිලා සැලකෙන පිරිස විවිධ නිපුණතාවන්ගෙන් සමන්විත පිරිසක් බවට පත් කර රජයේ මෙන්ම රජයේ නොවන බහුවිධ සේවා සපයන්නන් බවට පත් කිරීමට අපේක්ෂිතයි.
මෙම පිරිසට අයත් වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළට පහළ අධ්‍යාපනයක් සහිත වයස අවුරුදු 18ත් 45ත් අතර රැකියා විරහිත පුද්ගලයන් පමණක් බව ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.
බඳවා ගනු ලබන සාමාජිකයන්ට වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව සේවයෙහි ස්ථිර කෙරෙනවා.
සේවා නියුක්තිකයන්ට තම පවුල් ජීවිතයෙන් දුරස්ථ වීමක් සිදු නොවන පිරිදි පදිංචි ප්‍රදේශවලට ආසන්නයෙන් පිහිටි සේවා ස්ථානවල රාජකාරී පැවරෙනු ඇති.
ඔවුන්ගේ සතුටුදායක සේවය හා විනය මෙන්ම ඉහළ කාර්යසාධනය ද සැලකිල්ලට ගනිමින් පසුව විදෙස් රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සඳහන් කළා.
Share This Article