ලෙඩ දුක් නැතිව දිගු කල් ජීවත් වීමට දරුවන්ට පලතුරු, එළවළු කෑමට හුරු කරවමු
Wednesday, 22 January 2020 - 10:00 | Views - 1,261
නිරෝගීව සහ සෞඛ්‍ය සම්පන්නව සිටීමට නම් කුඩා කල සිටම එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීම පුරුද්දක් කරගත යුතු වෙනවා. හෘදයාබාධ ඇතිවීම වැළැක්වීම, පිළිකා ඇතිවීම වැළැක්වීම, මලබද්ධය ඇතිවීම වැළැක්වීම ඇතුළු ප්‍රයෝජන බොහෝමයක් එළවළු, පලතුරු, පලා වර්ග ආහාරයට ගැනීම මඟින් ලබාගත හැකියි. නමුත් අද වනවිට බාල පරම්පරාවේ සිට වැඩිහිටි පරම්පරාව දක්වාම එම ආහාර පරිභෝජනයට ගන්නේ ඉතා අල්ප වශයෙනි. එනිසාවෙන් කුඩා කල සිටම එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගන්නට දරුවන් පුරුදු කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි අද අප ඔබව දැනුවත් කරන්නේ.

ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ආහාර වේලේ එළවළු, පලතුරු, පලා වර්ග ආදිය අනිවාර්යයෙන්ම අන්තර්ගත විය යුතුයි. ඊට අමතරව එක් එක් ආහාර කාණ්ඩ යටතේ ධාන්‍ය වර්ග, ඇට වර්ග ආදියත් මස්, මාළු වැනි සත්ත්ව ආහාරත්, කිරි, යෝගට්, මී කිරි වැනි කිරි ආහාරත් අන්තර්ගත වීම අවශ්‍යයි. සීනි සහ තෙල් සහිත ආහාරයි ආහාර වේලේ අඩුවෙන්ම අන්තර්ගත විය යුත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් අනිවාර්යයෙන්ම අවම වශයෙන් දිනකට එළවළු වර්ග 3ක්වත් ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම දිනකට වර්ග 2කින් පලතුරු 2ක් ආහාරයට ගන්නා ලෙසත් නිර්දේශ කර තිබෙනවා. නමුත් ශ්‍රී  ලංකාවේ පාසල් දරුවන්ගෙන් 20%ක් 30%ක් පමණයි දිනකට අවශ්‍ය කරන නියමිත එළවළු, පලතුරු ප්‍රමාණය ආහාරයට ගන්නේ. වැඩිහිටියනුත් එසේමයි.

මෙසේ දරුවන් මෙන්ම වැඩිහිටියනුත් එළවළු, පලතුරු ආහාරයට නොගැනීමට ප්‍රධාන හේතු කිහිපයක් තිබෙනවා. එළවළු, පලතුරු ආහාරයට ගැනීමට පුරුද්දක් නැතිකම එම තත්ත්වයට බලපා ඇති ප්‍රධාන හේතුවක්.

ඒ වගේම එළවළු පලතුරුවල මිල වැඩි වීම නිසාවෙනුත් එළවළු, පලතුරුවලට වස විස යොදනවා යැයි ඒවායේ සෞඛ්‍යානුකූල බව පිළිබඳව ගැටලු පවතින නිසාත් ඇතැම් අය එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් වැළැකී සිටිනවා.

එළවළු, පලතුරු ආහාරයට ගැනීමේ පුරුද්ද දරුවකු තුළ ඇති කරවිය යුත්තේ කුඩා කාලයේදීමයි. මවුකිරි පමණක් ලබාදෙන මාස 6න් පසුව දරුවාට මවුකිරිවලට අමතරව වෙනත් ආහාර ලබාදීම සිදුකරනවා. දරුවාගේ දිවට එළවළු, පලතුරු, පලා වර්ග ආදිය හුරුකරවීම ඇරැඹිය යුත්තේ එම කාලයේදීමයි. සෑම දින දෙකකට තුනකට වතාවක් දරුවාට වරින් වර අලුත් ආහාරයක් හඳුන්වාදීම අවශ්‍යයි. නිදසුනක් ලෙස අද දරුවාට ගස්ලබු ලබා දුන්නා නම් ඉදිරියට දිනක් හෝ දෙකක් ගස්ලබුම ලබාදී ගස්ලබුවලට පුරුදු කර ඊට පසුදින කෙසෙල් කැබැල්ලක් පොඩිකර දරුවාට ලබාදිය හැකියි. එසේ විවිධ ආහාර දරුවාට ලබාදිය හැකියි. රස අංකුර මඟින් මොළයට පණිවුඩය ගිය විටයි ආහාරයේ රසය දැනෙන්නේ.

මෙම රස අංකුර පුරුදු කිරීමේ වැදගත්ම කාලය මාස 6ක සිට අවුරුද්ද දක්වා කාලයයි.

ආහාර දිරවන්නේ නැතැයි කියා දරුවා විවිධ ආහාරවලට පුරුදු නොකර සිටියොත් අවුරුදු 2ක් පමණ වනවිටත් දරුවා බොහෝ ආහාරවල රස බලා නැහැ. දරුවා වැඩුණු පසුව එම ආහාර රස බලා අත්හදා බලන්නට බියක් දක්වනවා. ඒ නිසා ඔවුන් එම ආහාර ප්‍රතික්ෂේප කරනවා.

තිත්ත රස තිබෙන එළවළු, නිදසුනක් ලෙස කරවිල ආදිය රස බැලීමට කුඩා අවධියේම දරුවාට පුරුදු කළ යුතුයි. තිත්ත යැයි කියා ඒවා ප්‍රතික්ෂේප කිරීමට දරුවාට ඉඩ නොතැබිය යුතුයි. තිත්ත ආහාරවල ගුණය වැඩියි. මුල් කාලයේදී එළවළු, පලතුරු ආදිය දරුවාට පොඩි කර දුන්නත් දරුවාට අවුරුද්දක් වූ පසුව ඒවා අතින් අහුලාගෙන ආහාරයට ගත හැකි ප්‍රමාණයේ කුඩා කැබලිවලට කපාදිය හැකියි.

ඒ වගේම නිවැසියන් දරුවා ඉදිරියේදී එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප නොකළ යුතුයි.

ඔවුන් එසේ කළහොත් කුඩා දරුවන්ද ඔවුන්ව අනුකරණය කිරීමට පෙලඹෙනවා. ඒ වගේම පෙරපාසල් යනවිට දරුවන් සම වයසේ දරුවන් ආහාරයට ගන්නා දේවල් ආහාරයට ගැනීමට පෙලඹෙනවා. එම නිසා ගුරුවරුන්ට යම් ආහාර රටාවකට දරුවන් යොමු කිරීම සඳහා යම් යම් නිර්ණායක ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. එහිදී පැණි රස, ලුණු සහ තෙල් සහිත ආහාර ගැනීමට දරුවන් යොමු වීම අඩු කළ යුතුයි. එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීමට පෙලඹවිය යුතුයි.

පාසල් යන වයසේ පසුවන දරුවන් එළවළු, පලතුරු ආහාරයට ගැනීමට වැඩි රුචිකත්වයක් දක්වන්නේ නැහැ. දරුවන් එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට නොගන්නවා යැයි උජාරුවෙන් පවසන මවුපියනුත් සිටීම කනගාටුදායක තත්ත්වයක්.

මාස 6 සිට අවුරුදු 17, 18 දක්වාම දරුවන්ට ආහාර ලබාදෙන විට මවුපියන් දිය යුත්තේ දරුවාට අවශ්‍ය ආහාර නොවෙයි. දරුවාට දියයුතු ආහාර තීරණය කළ යුත්තේ මවුපියන්. දරුවා එළවළු, පලතුරු ආදිය ප්‍රතික්ෂේප කරනවා යැයි කියා ඊට විකල්ප ආහාර දීමෙන් වැළැකිය යුතුයි. එවිට දරුවා කෙසේ හෝ එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීමට පුරුදු වෙනවා. එසේ නොමැතිව වැඩිහිටියන් වූ දිනෙක මේ පුරුද්ද ඔවුන් තුළ ඇති කළ හැකි වන්නේ නැහැ.

එම නිසා කුඩා කල සිටම ගුරුවරුන් සහ මවුපියන් දරුවන් ආහාරයට ගන්නේ මොනවාද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතුයි. ආහාර වේල නොමිලේ දරුවන්ට ලබාදෙන පාසල්වල පවා ඇතැම්විට දරුවාට ලබාදෙන්නේ බත් සමඟ පරිප්පු, සෝයා වැනි දේවල් පමණයි. එම නිසා රජයත් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ශ්‍රී  ලාංකිකයන් එළවළු සලාද ලෙස අමුවෙන් ආහාරයට ගත්න්නේ ඉතා අඩුවෙන්. නමුත් සලාද ලෙස සකස් කොට අමුවෙන් ආහාරයට ගැනීම මඟින් ඒවායේ පෝෂණ ගුණ රැකගැනීමේ හැකියාව තිබෙනවා.

මේ ආකාරයට එළවළු, පලතුරු, පලා වර්ග ආදිය ආහාරයට ගැනීමට දරුවන් පුරුදු කිරීම තුළ පෝෂණ උෟනතාවලින් තොර නිරෝගී දරු පරම්පරාවක් ගොඩනඟා ගත හැකියි.



ඉරේෂා කල්හාරි සේනාධීර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top