සැමියා ගුවන්තොටුපළට ඇරලවා ගෙදර එද්දී අලුත් මනමාලිය අවසන් ගමන් ගිහින්
Wednesday, 22 January 2020 - 9:30 | Views - 14,084

"කටුනායක ගුවන්තොටුපොළට දුවයි බෑනාගේ මල්ලියි එයාගේ යහළුවකුයි ගියේ බෑනා ඩුබායි බලා යන්න ඇරලවන්නයි. ඔහුව ඇරලවලා කට්ටිය පාන්දර ආපසු ගෙදර පැමිණෙමින් ඉඳලා තියෙනවා. මගේ නෝනා දුවගේ ජංගම දුරකථනයට කිහිපවතාවක්ම ඇමතුම් අරගෙන අහනවා මට ඇහුණා දැන් කොයි හරියෙද දුව එන්නෙ කියලා. දුව කියලා තියෙනවා අපි ආපසු ගෙදර එන ගමන් ඉන්නේ අම්මේ. අම්මා බය වෙන්න එපා අපි කරදරයක් නැතිව පරෙස්සමින් ගෙදර එනවා කියලා. එහෙම කියපු මගේ පුංචි දුවට මේ මොකද වුණේ කියලා හිතාගන්න බෑ. දුව බැඳපු පුතයි රට ගියේ. එයාට මේ සිද්ධිය කොහොම දන්වන්නද කියලා මට තේරෙන්නේ නෑ” යැයි ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් මියගිය තරුණියගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා (60) මහතා පැවැසීය.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිටදී පෙරේදා (20දා) අලුයම ත්‍රිරෝද රථයක් ලංගම බස් රථයක ගැටී ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් කරමින් සිටි අංක 15, මැදවල, මන්දාරම්නුවර පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ උදයංගනි කුමුදු කුමාරි දිසානායක (26) තරුණිය හා අංක 22/5 තැන්නපිටිය වත්ත, මල්පාන, කෙන්ගල්ල මහනුවර ලිපිනයේ පදිංචිව සිටි රාජපක්ෂගෙදර සම්පත් පුෂ්ප කුමාර නමැති (22) තරුණයා එම ස්ථානයේදීම මිය ගියහ. මල්පාන, කෙන්ගල්ල අංක 08, ලිපිනයේ පදිංචි විජේසිංහ ආරච්චිලාගේ තරි¾දු ශෙහාර කෞෂල්‍ය විජේසිංහ (19) තරුණයා බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන ලද අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මිය ගිය තරුණියගේ හා තරුණයාගේ මරණ පරීක්ෂණය පෙරේදා (20දා) සවස කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේදී පැවැත්විණි. කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත (30855), පොලිස් කොස්තාපල් සුසන්ත (43497) මෙහිදී සාක්ෂි මෙහෙයවිය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිය ගිය තරුණියගේ පියා වන දිසානායක මුදියන්සේලාගේ කිරිබණ්ඩා මහතා,
"මගේ බිරිය කේ.ඩී.එම්. පොඩි මැණිකේ. අපි දෙන්නා විවාහ වෙලා අවුරුදු 37ක් පමණ වෙනවා. අපි දෙන්නාට දුවලා දෙන්නයි පුත්තු දෙන්නයි ඉන්නවා. ලොකු දුවයි, දෙවැනි පුතයි විවාහ වෙලා ඉන්නවා. තෙවැනි පුතා මන්දාරම්නුවර සුමනරතන නමින් පැවිදි වෙලා ඉන්නවා. මියගිය බාල දුව පල්ලේකැලේ ඇඟලුම් ආයතනයක වැඩට ගියා. මාස දෙකක කාලයක ඉඳලා ඒ රැකියාවට යාමත් නතර කරලා ගෙදර හිටියේ. මේ දුව බැන්ද පුතා තමයි ඩුබායිවල රැකියාව කළේ.
ඒ දෙන්නාගේ මඟුල් ගේ පසුගිය ජනවාරි 06 දායි ගත්තේ. අරගෙන දුවයි බෑනයි පල්ලේකැලේ කුලී නිවෙසක නැවතිලා හිටියා. ඒ බෑනාගේ 19 හැවිරිදි බාල සහොදරයාත් එතැන තාවකාලිකව පදිංචි වෙලා ඉඳලා තියෙනවා. අන්තිමට දුවයි බෑනයි 18 වැනිදා අපේ ගෙදර ඇවිල්ලා ඉඳලා 19 වැනිදා උදේ 10 ට විතර ඉන්න තැනට ගිහින් තියෙනවා. 20 වැනිදා පාන්දර 2ට බෑනාට ඩුබායි බලායන්න ගුවන් යානය තියෙනවා කියලා. මම තුන්වැනි පුතා පැවිදිවෙලා ඉන්න පන්සලට ගියා. පස්සේ බිරිය දුවට බත් පාර්සල් තුනකුත් බැඳලා දීලා මඟදී කන්න කියලා. බෑනා ලංකාවට ආපු ගමන් දුවට කුරුණෑගල ප්‍රදේශයෙන් ත්‍රීවීල් එකක් අරන් දුන්නා. ඒ ත්‍රීවීල් එකෙන් තමයි බෑනාගේ මල්ලියි, බෑනාගේ යහළුවකුයි, දුවයි බෑනා ඇරලවා ආපසු ගෙදර එන්න ගිහින් තියෙන්නේ.
ඊට පස්සේ මගේ බිරිය රාත්‍රියේ දුවගේ දුරකථනයට අවස්ථා කිහිපයකදීම ඇමතුම් අරගෙන කොහෙද ඉන්නේ කියලා අහනවා මටත් රෑ ඇහුණා.
පස්සේ මම 20 වැනිදා පාන්දර 5ට විතර දුවගේ දුරකථනයට ඇමතුමක් ගත්තත් දුරකථනය වැඩ කළේ නෑ. අපි හිතුවා ෆෝන් එකට සිග්නල් නැතිව ඇති කියලා. මේ අය එන ගමන් තමයි ඇත්තේ කියලා හිතුවා.
පස්සේ කිහිපවතාවක්ම ගත්තා ෆෝන් එක වැඩ කරා, දුව කතා කළේ නෑ.
ඊට පස්සේ උදේ 8 ට විතර ගත්තාට පස්සේ කෑගල්ලේ පොලිසියේ මහත්තයෙක් කතා කරන්නේ කියලා කිව්වා. දුව ගිය ත්‍රිරෝද රථය කෑගල්ල ගලිගමුවේදී අනතුරකට ලක්වෙලා දුවයි ඒකේ හිටිය අනිත් දෙන්නයි තුවාල ලබලා කෑගල්ල රෝහලේ කියලා.
පස්සේ අපි දෙතුන් දෙනෙක් ත්‍රිරෝද රථයකින් අපේ හාමුදුරුවෝ වැඩඉන්න පන්සලට ඇවිල්ලා ත්‍රිරෝද රථය පන්සලේ දාලා වෑන් රථයකින් කෙළින්ම කෑගල්ල මහ රෝහලට ආවා. පස්සේ මට රෝහලේදී දැනගන්න ලැබුණා දුවයි බෑනාගේ යහළුවයි මියගිහිල්ලා කියලා. බෑනාගේ බාල මල්ලි බරපතළ තුවාල ලබලා ප්‍රතිකාර ලබනවා කියලා. පස්සේ දුවගෙයි බෑනාගේ යහළුවාගෙයි මෘතදේහ හඳුනා ගත්තා.”
මියගිය අනෙක් තැනැත්තා වන තැන්නපිටිය වත්ත, මල්පාන, කෙන්ගල්ල ලිපිනයේ පදිංචිව සිටි 21 හැවිරිදි රාජපක්ෂගේ සම්පත් කුමාර රාජපක්ෂ නමැති තරුණයාගේ පියා වන රාජපක්ෂගේ ගාමිණී රාජපක්ෂ(60) තිදරු පියාද මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ ලබාදුනි.
මෙහිදී කැලණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයේ රියදුරුවරයා වන වත්තේගෙදර ,කොහිල ගෙදර, කුරුණෑගල ලිපිනයේ පදිංචි සේනානායක මුදියන්සේලාගේ කුසල්වන් කුමාර නමැති (40) මෙහිදී සාක්ෂි ලබා දුන්නේය.
“මම විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අවුරුදු නවයක පමණ කාලයක ඉඳලා මම කැලණිය ඩිපෝවේ රියදුරුවරයකු ලෙස සේවය කරනවා. ඒ අවුරුදු නවයෙන් අවුරුදු හතරක්ම මම මල්වාන පාරේ වැඩ කළා. ඊට පස්සේ අවුරුදු පහක්ම වැඩ කළේ කොළඹ මහනුවර මාර්ගයේ. මගේ ඇස් හොඳට පේනවා. කන් ඇහෙනවා. මම දවසක් ඇර දවසක් රැකියාව කරමින් සිටියා.
ඉකුත් 19 වැනිදා හවස මම බස් රථය භාර ගත්තා. හවස 6.10ට කොළඹ කොටුවෙන් මහනුවර බලා පැමිණියා. මහනුවරට එනකොට රාත්‍රි 10 ට ළංවෙලා තිබුණා. එදා මහනුවර ඉඳලා පහුවදා 20 වැනිදා පාන්දර 4.10ට මහනුවරින් පිටත් වුණා කොළඹ බලා එන්න. කෑගල්ල - ගලිගමුව දුර සේවා නැවතුම්පොළට එනකොට පාන්දර 5.30 පහුවෙලා තිබුණා. ගලිගමුව නගරයේදී දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පිටුපස ෙදාරෙන් බස් එකට නැග්ගා මම දැක්කා.
පස්සේ ආපහු කොළඹ බලා පිටත් වෙලා ඉදිරියට මීටර් 100ක් වගේ දුරට යන කොට ගලිගමුව විද්‍යාලය ඉදිරිපිටදී කොළඹ පැත්තේ ඉඳලා වේගයෙන් ත්‍රීවීල් එකක් එනවා මම දැක්කා. ඇවිල්ලා මගේ පැත්තටත් එනවා මම දැක්කා. මම හිතුවේ ගලිගමුව විද්‍යාලයට යන්න යන ත්‍රීවීල් එකක් කියලා. එක පාරට දඩාං ගාලා මම වැඩකරන බස් එකේ දකුණු පැත්තේ ඇවිල්ලා ත්‍රීවීල් එක වැදුණා. මම ජනේලයෙන් ඔළුව දලා බලනකොට ත්‍රීවීල් එකේ ටෙන්ට් එකත් පැත්තකට පාත් වුණා මම දැක්කා” පස්සේ බස් එකේ හිටිය අය සේරම බැහැලා බැලුවා. මමත් ගිහින් බලනකොට ත්‍රීවීල් එකේ පිටුපස හිටිය දෙන්නා පැත්තකට ඇලවෙලා හිටියා. එක්කෙනෙක්ගේ නළල පැත්තේන් ලේ ගලනවා දැක්කා. ත්‍රීවීල් එකේ කොටසක් බස් එක ඇතුළතට ගිහින් තිබුණා. රියැදුරුවරයා හිරවෙලා ඉන්නවා මම දැක්කා. පස්සේ ඩීසල් ත්‍රීවීල් එකක් ආවා. එකේ දෙන්නෙක් දාලා යැව්වා. පස්සේ මම බස් එකේ පිටි පස්සට ආවා. ටික වේලාවක් ගියාට පස්සේ ගිලන් රථයකුත් ආවා. අනිත් තුවාලකරුත් ඒකේ දාලා කෑගල්ල රෝහලට එව්වා කියලා කොන්‍ෙදාස්තරවරයා මට කීවා. පස්සේ මමයි කොන්‍ෙදාස්තරයි කෑගල්ල පොලිසියට ඇවිල්ලා සිද්ධිය සම්බන්ධයෙන් ඒ නිලධාරීන්ට කිව්වා.
මියගිය දෙදෙනාගේ මරණ පරීක්ෂණ කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩී.එස්. සුසන්ත ජයවීර මහතා විසින් සිදු කළ අතර තරුණියගේ මරණය රිය අනතුරකින් හිසට තුවාල වීමෙන් කම්පනයෙන් සිදුවූ හදිසි මරණයක් බවටත් තරුණයාගේ මරණයට හේතුව රිය අනතුරකින් හිසට තුවාල වීමෙන් සුෂුම්නාවට තුවාල වීමෙන් හා කම්පනයෙන් සිදුවූ හදිසි මරණයක් බවට කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා එස්. කළුආරච්චි නිශ්ශංක මහත්මිය පැවැසුවාය.
දමුණුපොළ - චමින්ද ජයලත්
Share This Article