කොරෝනා වෛරස් පරීක්ෂණ ගුවන් තොටුපළ තුළදීම
Wednesday, 22 January 2020 - 8:22 | Views - 446

නව කොරෝනා වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය හැකි බවට අනාවරණ වීමත් සමඟ ඒ පිළිබඳව ලොව පුරා අවධානය යොමුවී තිබෙනවා.
චීනයේ වුහාන් ප්‍රාන්තයෙන් හඳුනාගත් සාර්ස් වෛරසයට සමාන මෙම වෛරසය වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇති අතර, බීජිං සහ ෂැංහයි ඇතුලූ ප්‍රධාන නගරවලින්ද මේ වනවිට නව ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි චීන ජනාධිපති ෂී ජින් පිං සඳහන් කළේ.
රෝගය නිශ්චිතව වැළඳුණු 300 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, චීන ජාතික සෞඛ්‍ය කොමිසම ප්‍රකාශ කළේ රෝගීන්ට ප්‍රතිකාර කළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 15 දෙනෙකු ද මෙම වෛරසයට ගොදුරු වී ඇති බවයි.
එසේම, ආසාදිතයන් ජපානය, තායිලන්තය සහ දකුණු කොරියාවෙන් ද හමුවී තිබෙනවා.
නිව්මෝනියා රෝගී තත්ත්වය ඇතිවී මරණයට පත්වීමේ හැකියාව ඇති මෙම වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සිංගප්පූරුව, හොංකොං, තායිවානය, ජපානය මෙන්ම ඕස්ට්‍රේලියාව ද ගුවන් තොටුපලවල ආරක්ෂාව මේ වනවිට තරකර තිබෙනවා.
මේ අතර මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ චීනයේ සංචාරය කර මෙරටට පැමිණීමේදී මෙම වෛරසයට අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම් ගුවන් තොටුපලදීම පරීක්ෂා කිරීමේ පහසුකම් සළසා ඇති බවයි.
Share This Article