සජිත් හමුවීමෙන් පසු රනිල් - කරූ හමුවක්
Monday, 20 January 2020 - 12:54 | Views - 519

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් දින දෙකක් තුළ තම තීන්දුව දැනුම් දෙන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ඊයේ රාත්‍රියේ කථානායක කරූ ජයසූරිය සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදියි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ කොළඹ - අමරසේකර මාවතේ පිහිටි කථානායකවරයාගේ පෞද්ගලික නිවසේදී මෙම හමුව සිදුව ඇති බවයි.
මෙම අර්බුදයේදී තමන් මධ්‍යස්ථ මතයක සිට කටයුතු කරන බවට කථානායකවරයා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දන්වා ඇති බව කථානායකවරයාට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
මෙම හමුවට පෙර කථානායකවරයා සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුව ඇති බවටද වාර්තාවුණා.
පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වුණේ නායකත්ව අර්බුදය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමටයි.
කෙසේ වෙතත් මන්ත්‍රී කණ්ඩායම තුළ ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එදින එකඟතාවකට පැමිණීමට නොහැකිවුණා.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ආසන සංවිධායකවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවා තිබෙනවා.
මෙම සාකච්ඡාව හෙට පස්වරු 3 ට පැවැත්වීමට නියමිතව ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.
මෙහිදී විපක්ෂ නායකවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවද ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර ඊයේ ආගරපතන ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ප්රගතිශීලී සන්ධානය නියෝජනය කරන කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අග්‍රාමාත්‍යවරයා බවට පත්වුවහොත් එය සුබදායක වනු ඇති බවයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉදිරි මහ මැතිවරණය ද ජය ගනු ඇති බව කළුතර පැවති ජන හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.
Share This Article