
දරුවකුගේ බුද්ධි වර්ධන ක්‍රියාවලිය විවිධ අංශ ඔස්සේ විහිදෙනවා. විවිධ වයස් මට්ටම්වලදී දරුවාගේ බුද්ධි වර්ධනයට විවිධාකාරයෙන් අපට දායක විය හැකිය. දරුවාගෙ බුද්ධි වර්ධනය උදෙසා මවුපිය ඔබට කළ හැකි දෑ පිළිබඳවයි මේ දැනුවත් කිරීම.
බුද්ධිය යන්න අධ්‍යාපන ක්‍රියාවලිය සමඟ බැඳී පවතින්නක්. ඒ නිසා එය දරුවන්ගේ අධ්‍යාපනික කාර්යය සඳහා ඉතා වැදගත් සංකල්පයක්.
අදහස් එකින් එක ගළපමින් ක්‍රියා කිරීමේ හැකියාව ලෙසත්, තාර්කිකව සිතීම බුද්ධිමත් බවේ ලක්ෂණයක් ලෙසත් නව අවස්ථාවන්ට මුහුණදීමේදී තැනට සුදුසු ලෙස හැසිරීමට ඇති හැකියාව ලෙසත්, අර්ථවත්ව, යථාර්ථවාදීව කටයුතු කිරීමේ හැකියාව ආදී වශයෙනුත් බුද්ධිය පිළිබඳ විවිධ විද්වතුන් අර්ථ ගන්වා තිබෙනවා.
බුද්ධිය සංවර්ධනයෙහිලා ආරය සහ පරිසරය බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දී තිබෙන්නක්. ස්නායු පද්ධතියේ ව්‍යුහය බුද්ධියේ ස්වභාවය කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය ලෙසත් සැලකෙනවා.
කුඩා කල සිටම පුද්ගලයා තමන්ගේ පරිසරය සමඟ ඇති කරගන්නා වූ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධිය සංවර්ධනය වන බවද මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඒ අනුව යහපත් පරිසරයක හැදී වැඩෙන අයගේ බුද්ධි සංවර්ධනය අයහපත් සහ දුර්වල පරිසර තත්ත්වයන්හි ජීවත් වන පුද්ගලයන්ට සාපේක්‍ෂව වැඩි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ඔබ ඔබේ දරුවා ජීවත් වන පරිසරය පිළිබඳ වඩා සැලකිලිමත් වීම අවශ්‍යයි. පෙර කී පරිදි බුද්ධිමත් දරුවකු බිහි වන්නේ ආරය මඟින් ගෙන ආ ශක්‍යතාවලින් මෙන්ම පරිසරය මඟින් ලබාදෙන යහපත් උත්තේජනයන් මඟින් බව මතකයේ තබාගන්න.
බුද්ධිය යනු ඉගෙනීමෙන් සහ අත්දැකීම් රාශියක් මඟින් ලබාගන්නා දක්‍ෂතාවන් හා හැකියාවන් සමූහයක්. එබැවින් ඔබේ දරුවාට දක්ෂතා, හැකියා වැඩිදියුණු කර ගැනීමට රුකුලක් වන ලෙසින් ඉගෙනීමට සහ අත්දැකීම් ලබා ගැනීමට යොමු කරවීම වැදගත්.
ආරය සහ පරිසරය හැරුණු විට බුද්ධිය සංවර්ධනයට, අධ්‍යාපනය අභ්‍යාසය, ස්ත්‍රී - පුරුෂ බව, ජාතිය, උනන්දුව සහ උත්සාහය යනාදී කරුණුත් බලපානවා.
සෑම දරුවකුටම ආරයෙන් අඩු හෝ වැඩි වශයෙන් බුද්ධිය පිහිටනවා. එය විභව ශක්තියක්. එම විභව ශක්තිය වඩා ඔපවත් වන්නේ පරිසරයෙන් ලැබෙන සරු බව මතයි.
දරුවා කුස තුළ සිටියදී බලපාන හිතකර හෝ අහිතකර සාධකයත්, උපතින් පසුව බලපාන පරිසර සාධකත් මත සහජයෙන් ඇති වන විභව ශක්තීන් ශක්තිමත් හෝ දුර්වල විය හැකියි. මේ නිසා දරුවා ආරයෙන් රැගෙන එන බුද්ධිය හිතකර පරිසර සාධක මඟින් සරුවට වර්ධනය කිරීමේ වගකීම මවුපිය ඔබ හා ගුරුවරුන්ගේ වගකීමක්. බුද්ධි වර්ධනය පිළිබඳව කර ඇති පර්යේෂණවලින් බුද්ධියේ ශීඝ්‍ර වැඩි වීමක් සිදු වන්නේ වයස අවුරුදු 11 - 18 අතර කාලයේ බව සොයාගෙන තිබෙනවා.
බුද්ධිමය ක්‍රියාවලිය සරල බවේ සිට සංකීර්ණ බව දක්වා ක්‍රමයෙන් ගැඹුරු වන බැවින් දරුවාට ලබාදිය යුතු අත්දැකීම්ද ඒ ආකාරයට පෙළගැසිය යුතු බව අවධානයට ගන්න.
දරුවකු ඉපිද මාස 18 - 24 දක්වා කාලය ඉන්ද්‍රා චාලක අවධිය ලෙස හඳුන්වනවා. මෙම අවධියේදී දරුවන්ගේ බුද්ධි සංවර්ධනය වැඩි කිරීමට උපකාරි විය හැකියි.
දරුවාට අතින් ගසා සෙලවිය හැකි පයින් ගසා තල්ලු කළ හැකි ශබ්ද නැඟෙන සෙල්ලම් බඩු ලබාදීමත් ඒවා සමඟ ක්‍රියා කරන්නට ක්‍රීඩා කරන්නට අවකාශය ලබාදීමත් ඉතා වැදගත්.
එම නිදහස් ක්‍රියාකාරකම් මඟින් දරුවා අවකාශය පිළිබඳවත් වස්තුවල නිත්‍යතාව පිළිබඳවත් වැටහීමක් ලබා ගන්නවා. එසේම දරුවා සමඟ සුහදව කතා කිරීම, දරුවා තෘප්තියෙන් තැබීම, මවගේ උණුසුම, ආදරය ලැබෙන්නට සැලැස්වීම ආදිය මඟින්ද මේ අවධියේ දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාවලියට මවුපියන්ට උපකාරි විය හැකියි.
අවුරුදු 2 - 7 දක්වා කාලයේදී සංකේත ගොඩනඟා ගැනීමේ හැකියාව, ඒවා භාවිත කිරීමේ හැකියාව, වචන, චිත්තරූප, සංඥා ආදිය භාවිතයට දරුවාට හැකියාව තිබෙනවා.
ප්‍රාථමික අධ්‍යාපනය ලබන 1, 2, 3, 4 ශේර්ණිවලදී හැකි සෑමවිටම දෘශ්‍ය ආධාරක භාවිතය, කෙටි උපදෙස් දීම. අත්වලින් කරන ක්‍රියකාරකම්වලට වැඩිපුර අවස්ථාව ලබාදීම, අත්දැකීම් ගන්නට අවස්ථාව උදා කරදීම, වේගයෙන් ඉගැන්වීම වෙනුවට සෙමෙන් ඉගැන්වීම ආදිය කළ හැකියි.
3 - 4 ශේර්ණිවල සිට 6 - 7 ශේර්ණි දක්වා ඉගෙන ගන්නා දරුවන්ට ඉගෙනුම් ආධාරක භාවිතය, සරල පරීක්‍ෂණ අත්හදා බැලීමට අවස්ථාව ලබාදීම, කෙටි පාඩම් කොටස් භාවිතය, සරල උදාහරණ යොදා ගැනීම සාමූහික ක්‍රීඩාවලට අවස්ථාව ලබාදීම ආදිය මඟින් දරුවාගේ බුද්ධි වර්ධනයට උපකාරි විය හැකියි.
වයස අවුරුදු 12 - 18 අවධියේදී දරුවනට පර්යේෂණ ගවේෂණ කරන්නට, ගැටලු විසඳීමට තර්කනයට ඉඩ දීම, ජීවිතයට අදාළ කරගෙන සංකල්ප ගොඩනැඟීමට අවස්ථාව ලබාදීම, ඉගෙනීමට සලස්වා නිසි මඟපෙන්වීම ආදිය කළ හැකියි. මෙවැනි දෑ මඟින් ඔබටත් දරුවාගේ බුද්ධි වර්ධන ක්‍රියාවලියට දායක විය හැකිය.
ඉරේෂා කල්හාරි සේනාධීර
163 Views
98 Views
146 Views
104 Views
67 Views
122 Views
95 Views
94 Views
117 Views
93 Views
74 Views
109 Views
146 Views
233 Views
163 Views
112 Views
98 Views
93 Views
75 Views