කැමති පාට අනුව කෙනෙකුගේ චරිත ලක්‌ෂණ හෝ වෙනත් සුබ අසුබයන් ගැන කිව හැකිද?
Sunday, 25 June 2017 - 19:47 | Views - 50,775
සතියේ දින හත හඳුන්වන්නේ ග්‍රහයින් හත් දෙනකුගේ නමිනි.
සඳුට හිමි දවස සඳුදා ආදී වශයෙනි. රාහු හා කේතුට හිමි දවස්‌ නැත.
ග්‍රහයින්ද සුබ ග්‍රහයින් හා අසුබ ග්‍රහයින් ලෙස වෙන්කර ඇත. මේ අනුව අසුබ ග්‍රහයින්ට හිමි දවස්‌ වන අගහරුවාදා, සෙනසුරාදා දින අසුබ දවස්‌ වශයෙන්ද ඉතිරි දවස්‌ සුබ දවස්‌ ලෙසද පිළිගනු ලැබේ. මේ සාමාන්‍ය වශයෙනි.

නැකත් ශාස්‌ත්‍රයේදී ශුභ නැකත සමඟම නැකත් වේලාවට ඇඳිය යුතු ඇඳුමේ පාට ගැනද නිර්දේශ කිරීම ජ්‍යෙතිෂ රීතියකි. සඳුදාට සුදු පාට, බදාදාට කොළපාට ආදී වශයෙන් දක්‌වා ඇතත් ඒ ඒ පුද්ගලයාගේ ජන්ම පත්‍රය අනුව ග්‍රහ බල විනිශ්චය කර බලා සුබ පාට තීරණය කිරීම වඩාත් ප්‍රශස්‌ථ වේ.

පුද්ගලයකු අඳින පලඳින ඇඳුමේ වර්ණය අදාළ පුද්ගලයාට බලපාන්නේද? සෑම කෙනකුටම පාහේ යම් පාටක්‌ වැඩිපුර භාවිතා කරනු දක්‌නට ලැබේ. ඒ මන්ද? කැමති පාට අනුව කෙනෙකුගේ චරිත ලක්‌ෂණ හෝ වෙනත් සුබා සුබයන් ගැන කිව හැකිද? භාවිතා කරන වර්ණ අනුව අන්‍යයන් අප වෙත දක්‌වන ආකල්ප වෙනස්‌ වේද?


කේතු හිමි කලු පාට

කලු පාට හිමි වන්නේ කේතු ග්‍රහයාටය.
යොවුන් වියේ බොහෝ දෙනෙක්‌ කලු පාටටම ඇලුම් කරයි. දැනට වසර හතළිහකට පමණ පෙර සමාජයේ කලු පාට ඇඳුම් දක්‌නට නොතිබූ තරම්ය. ඕනෑම පාටක්‌ ප්‍රියද අප්‍රියද යන්න තීරණය කළ හැකි වන්නේ අප අවට පරිසරයේ එම පාට ඇති තැන් සොයා බැලීමෙනි. මේ අනුව හිසකෙස්‌ හා ලොම්, ටයර්, තාර, තාර පාර, කපුටා, කුණු ගොඩවල් වැනි ස්‌ථානවල මෙන්ම අන්ධකාර රාත්‍රියට කළු පාට හිමි වෙයි. විරෝධය දක්‌වන විට කළු කොඩි ඔසවනු ලැබේ. පෝරකයට නියම වූ අපරාධකරුවෙකු කළු වස්‌ත්‍රයකින් දෑස්‌ වසා බැඳ මරණ දඬුවමට යටත් කෙරේ. මේ අනුව කළු වර්ණය පැතිර ඇත්තේ අප්‍රසන්න තැන්වලය. කළු වර්ණය භාවිත කරන අයද මනස අඳුරු වූ අනාගතය ගැන අවිනිශ්චිත හා සැකය සහිත ජනප්‍රිය බවෙන් හීන අය බව දක්‌නට ලැබේ. ජීවිතය ජය ගෙන ඉලක්‌ක කරා යැමට ඔබ සිතන්නේ නම් වහාම කළු පාට භාවිතය අත්හළ යුතු වේ . විහාරාරාම වැනි පූජ්‍ය ස්‌ථානයකදී කළු අඳින අය සමච්චලයට භාජනය වනු ඇත.

සඳුට හිමි සුදු පාට

සඳු ග්‍රහ මණ්‌ඩලයේ බිසව ලෙසද, මව ලෙසද හඳුන්වන්නේ එම ග්‍රහයා මවුගුණය පෙන්වන බැවිනි. තවද මානසික තත්ත්වයට අධිපති ග්‍රහයාද සඳු වෙයි. සඳුට හිමි සුදු පාට ඇත්තේ පරිසරයේ කවර ස්‌ථානවලද දැයි විමසා බලන්න. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, හෙද හෙදියන්, උපාසක උපාසිකාවන්, කන්‍යා සොයුරියන් හා මවුවරුන්, කිරිඅම්මාවරුන්, වෛද්‍යවරුන්, සිල්වතුන්, ගුණවතුන් අතර මෙන්ම ඉද්ද, සමන් පිච්ච, නෙළුම් වැනි මල්වලද සුදු පාට දක්‌නට ලැබේ. පූජනීය ස්‌ථානයට යන්නේ සුදුවතින් සැරසී ගෙනය. මේ අනුව පරිසරයේ සිල්වත් බව, සාමය පවතින තැන්වලම සුදු පාට ඇති බවද දැනගත හැකිය. සුදු පාටට ඔබ කැමතිනම් ඔබද සාමය හා පිවිතුරු බව අගයන සුදු චරිතයක්‌ බව කිව යුතුය. සමාජයේ කොතැනකත් සුදු පාට ගැළපේ. ඔබේ අරමුණ එවැනි චරිතයක්‌ බවට පත්වීම නම් සුදු ඇඳුම භාවිතා කරන්න. එය ඉක්‌මනින් ඔබේ ඉලක්‌ක ළඟා කර දෙනු ඇත.

කුජ හිමි රතු පාට

රතු පාට හෙවත් ලේ පාට හිමි වන්නේ කුජ ග්‍රහයාටය. කුජ හෙවත් අඟහරු ග්‍රහ මණ්‌ඩලයේ සෙන්පතියා යෑයි හැඳින්වේ. සටන අඟහරුගේ ක්‍රියාවයි. රතුපාට ඇත්තේ කොතැනද? එතැන සටන්කාමී බව තිබේ. සටන්කාමී සමාජවල රතු කොඩි එසවෙයි. එවිට කතා කරන්නේ හඬනගමින් සටන් පාඨවලිනි. මස්‌කඩවල, ලේ හා මස්‌ වල, රතුපාට දක්‌නට ලැබේ. රතු නෙළුම්වල ඇත්තේ වෙනස්‌ රතු පාටකි. නිවසක්‌ ඉදිරියේ රතුමල් වැටීම අශුභ බවට පිළිගැනීමක්‌ තිබේ. එමඟින් ලේ උරා බොන කෘමීන් බෝවන බැවිනි. මේ අනුව ඔබ රතුපාට තෝරා ගත යුත්තේ හිංසාකාරී සටන්වල යෙදෙන්නේ නම් පමණි. නොඑසේනම් රතුපාටට කැමති අය මෛත්‍රියට විරුද්ධ ද්වේශය බහුල වුවද, රාගාධිත වූ කෙනකු බව පිළිගැනීමට සිදු වේ. රතු පාට සුබ පාටක්‌ නොවන්නේ එබැවිනි.

බුධ හිමි කොළ පාට

කොළ පාට ප්‍රභේද දෙකක්‌ වෙයි. තද කොළ පාට හා පලාවන් හෙවත් ලා කොළ පාටයි. තද කොළ පාට, නිල් පාටට සමාන බවක්‌ දක්‌වයි. බුධට හිමි වන්නේ පලාවන් හෙවත් ලා කොළ පාටයි. බුධ ග්‍රහ මණ්‌ඩලයේ ලේකම් වරයාය. ලේකම් යනු ලියකියවිලිවලට හා බුද්ධියට අදාළ කටයුතු කරන කෙනෙකි. බුධ අධිපති අය පලාවර්ග අනුභවයට මෙන්ම ලා කොළ පාටට කැමැත්තෝය. රෝහල්වල තිර රෙදි, අප අවට පරිසරයේ වෘක්‌ෂලතා වල දලුවල පැහැය ලා කොළ පාට වේ. බාහිර පෙනුමට වඩා හරයට සලකන්නාවුන් බුද්ධිමත්වූ කෙනකු පලාවන් වර්ණය තෝරාගනු ඇත.

ගුරු හිමි කහ පාට

කහපාට, තැඹිලි පාට නැතහොත් ගුරු පාට බ්‍රහස්‌පති ග්‍රහයාට හිමි වෙයි. බ්‍රහස්‌පතී ධනයට, ප්‍රඥාවට හා පෝෂ්‍යදායක ආහාරවලට අධිපති වෙයි. මේ අනුව ලොව පුරා භික්‌ෂුන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, දසසිල් මාතාවන්, තාපසවරුන් වැනි ප්‍රඥාව ලබා ගැනීමට ඉලක්‌ක කරගත් අය මෙම වර්ණයම භාවිතා කරනු දැකිය හැකිය. එමෙන්ම කඩල, කව්පි, පරිප්පු, වටානා, බටර්, මාගරින් වැනි පෝෂණීය ආහාර වර්ගවලද කහ පාට දක්‌නට ලැබේ. බුදුරජාණන් වහන්සේගේ සිවුර කෂාය වස්‌ත්‍රයකි. ප්‍රඥාවන්තයන් කිසිවිටෙකත් රතු හෝ කළු වැනි වර්ණ භාවිතා කරන්නේද නැත. ඔබ මෙම පාටට ප්‍රිය නම්ද, භාවිතා කරන්නේ නම්ද ඔබ තුළද ප්‍රඥාවන්ත ස්‌වභාවය වර්ධනය වනු ඇත.

සිකුරු හිමි මිශ්‍ර ලා පාට

ග්‍රහ මණ්‌ඩලයේ කාමයට අධිපති ග්‍රහයා සිකුරු හෙවත් ශූක්‍ර ග්‍රහයා ය. සිකුරු සංගීතය, නාට්‍ය, චිත්‍ර ආදී සෞන්දර්යයට අයත් දේ මෙන්ම රාග නිශ්‍රිත දේද නියෝජනය කරයි. ලොව පුරා නර්තන ශිල්පීන්, කලා ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන් ආදී කලාකරුවන් හා කලාකාරියන් විචිත්‍ර වර්ණයෙන් බැබළෙන ඇඳුම් පැළඳුම්වලින් සැරසී සිටිනු දක්‌නට ලැබේ.

එය ඕනෑම රටක සිකුරු අධිපති බව දරන චරිත හිමි අයගේ සිත් ගත් වර්ණයයි. මේ අනුව ඔබටද මේ විචිත්‍ර වර්ණය හෙවත් මිශ්‍ර වර්ණවලට කැමැත්තක්‌ තිබේ නම් ඔබද අලංකාරයට චමත්කාරයට ආකර්ශණයට කැමති, රාග චරිතයකට හිමිකම් කියන කෙනෙකු බව පෙන්වයි. ප්‍රීති උත්සව අවස්‌ථාවට, සවසට මිශ්‍ර ලා වර්ණය ගැලපේ.

ශනි හිමි නිල් පාට

තද කොළ පාටද, නිල්පාට සමාන තත්ත්වයක්‌ දරන බව පෙනේ. නීල ගොයම් යෑයි කියන්නේ තද කොළ පාට ගොයමටය. සමහර පොත්වල ශනිකාල වර්ණ යෑයිද කියා ඇත. කලු පාටද අශුභ බව ඉහත දැක්‌වීමු. පරිසරයේ නිල්පාට බහුලව ඇත්තේ හිස්‌ අහසේය. නැතහොත් සාගර ජලයේය. ග්‍රහ මණ්‌ඩලයේ ශනි හෙවත් සෙනසුරු නියෝජනය කරන්නේ දුක්‌ කරදර, වධ වේදනා හා මාරක අපලයි. ශනි මෙහෙකරුවන්ට අධිපති වන අතර ශනි ඉතා බලවත්ව පිහිටි අයගේ පමණක්‌ ඉවසීම දරා ගැනීමේ ශක්‌තිය වැනි ගුණාංග පෙන්වයි.

සාගර ජලය බීමට හැකි නොවේ. හිස්‌ අහස තුළ ඇත්තේද ස්‌පර්ශ කළ නොහැකි හිස්‌ බවකි. නිල් වර්ණය බහුලව භාවිත කරන අය තුළ ශනිගේ අපලයක්‌ද පවතින බව අපි අත්දැකීමෙන් ප්‍රත්‍යක්‌ෂ කරගෙන ඇත්තෙමු. එය හුදු අනුමානයක්‌ නොවේ. කේතුට හිමි කළු හා ශනි හිමි නිල් පාට එකටම අඳින අයට ශනි එරාෂ්ටක අපලයක්‌ ඇති බව ස්‌ථිරය. එය වරදින්නේ කලාතුරකිනි. ඔබද ජීවිතයේ සාර්ථකත්වය අපේක්‌ෂා කරන්නේ නම් කළු/නිල් වර්ණ භාවිතය ඊට බොහෝ බාධා කරන බව සැලකිය යුතුයි.

රවි හිමි දිලෙන සුදු පාට

හිරු පළොල් මල් වර්ණය යෑයි "වරාහමිහිර" ග්‍රන්ථයේ කියා ඇත. රවි ග්‍රහ මණ්‌ඩලයේ රජු වෙයි. එනම් පාලකයා ය. අන් ග්‍රහයින් භ්‍රමණය වන්නේද හිරු වටාය. රජවරු මෙකල භාවිත කරන්නේ රක්‌ත වර්ණයට වඩා දිලිසෙන සුදු වර්ණය බව පෙනේ. නිකල් වර්ණයට සමීප දිලෙන සුදු පාට පෙරදිග බොහෝ රාජ්‍ය නායකයන්ගේද. ධනවතුන්ගේද නායකත්ව ගති ලක්‌ෂණ පෙන්වන බොහෝ අයගේද පාට බව විමසා බලන විට පෙනී යයි. මේ නිසා මේ වර්ණය භාවිතා කරන අය එවැනි නායකත්වය අපේක්‌ෂා කරන අය බවත්, ගෞරවය රැක ගැනීමට හා ලබා ගැනීමට ඉලක්‌ක කර ගත් අය බවත් පෙන්වයි. දිලෙන සුදු වර්ණය භාවිත කරන අය සමාජයේ කැපී පෙනෙන ගරු කටයුතු චරිතයක්‌ වන බවත් නිසැකය.

රාහු හිමි අලුපාට/ධූම වර්ණය

ගින්නෙන් නගින දුම ස්‌පර්ශ කළ හැකි නොවන අතර නිතර චලනය වෙමින් තිබේ. රාහු ද ග්‍රහ මණ්‌ඩලයේ පණිවිඩකරුවෙකු ලෙස මෙන්ම ඔළුව නැති ග්‍රහයා ලෙසද හඳුන්වනු ලැබේ. රාහු අපලයක්‌ ලැබූ කෙනකුට නිතර ගමන්ද, නිෂ්ඵල ගමන්ද, නිෂ්ඵල වියදම්ද යෙදේ. රාහු දශාවක්‌ ලැබූ අයෙකු අළු පාට හෙවත් දුම් පාට ඇඳුම් භාවිතා කරන්නේ නම් එවැනි අය මෙම නිෂ්ඵල ගමන් හා වියදම්වලට ගොදුරු වූ හිතේ කිසිදු සැනසීමක්‌ නැති මානසික ආතතියෙන් පෙළෙන කෙනකු බවට පත්වනවා ඇත.

සිතට ප්‍රිය චිත්තාකර්ෂණීය වර්ණ හැමවිටම නියෝජනය කරන්නේ සුබ ග්‍රහයන්ගේ වර්ණ බවත්, අප්‍රියජනක අඳුරු වර්ණ පාප ග්‍රහයන් නියෝජනය කරන බවත් විමසා බලන කෙනෙකුට දැකගත හැකිය. සුබ ග්‍රහයෙකුගේත්, අසුබ ග්‍රහයෙකුගේත් දශා එක්‌ව යෙදෙන විට මිශ්‍රව යෙදෙන පාටක්‌ ලැබේ. රතු පාටත්, සුදු පාටත් මිශ්‍ර වී රෝස පාට සෑදෙනවාක්‌ මෙන්ම කුජගේත් සඳුගේත් ශනි ලක්‌ෂණද මිශ්‍ර වෙයි. රතු පාට කුජගෙත් රාග නිශ්‍රිත සටන්කාමී බවද, සඳුගෙත් සාමකාමී සිල්වත් බවද ලැබේ. රෝස පාට අඳින කෙනෙකු තුළ මේ චරිතය ඉස්‌මතුව පෙනේ.

පාප ග්‍රහයින්ගේ දශාවන් හෙවත් අපලයක්‌ හෙවත් අපලයක්‌ ඇතිවිට ඒ සඳහා විවිධ ශාන්තිකර්ම ජ්‍යෙතිෂයේ නියම කර තිබේ. විවිධ පුණ්‍යකර්ම සිදු කිරීම, යන්ත්‍ර පැලඳීම, ග්‍රහ පූජා තැබීම ආදී කවර ශාන්ති කර්මයක්‌ කළද පුද්ගලයා අඳින පළඳින වර්ණය ඇති කරන ධන හෝ රින බලපෑම සුළුකොට තැකිය හැකි නොවේ.

අටසිල් වල වර්ණයක්‌ ගැන සඳහන් වන්නේ නැතත් සිල් සමාදන් වන විට සුදු පාට ඇඳුමක්‌ අඳින්නේ සිල්වත් වීමට එයින් ධනාත්මක බලපෑමක්‌ ඇතිකරන බැවිනි. අන් වර්ණ භාවිතය ද එසේය.

එබැවින් අපල සමනය කර ගැනීමටත්, සාර්ථකත්වය ලබා ගැනීමටත් බලාපොරොත්තු වන්නේ නම් පළමුව අශුභ වර්ණ භාවිතයෙන් වළකින්න. පාප ග්‍රහයින් වන සෙනසුරු, කේතු, හිමි කළු නිල් පාට අත්හරින්න. තද රතු, තද කොළ, පාටද ඔබට රින චිත්තවේග ආකර්ෂණය කරනු ලැබේ. සඳු හිමි සුදු, ක්‍රිම් පාට සිකුරු හිමි මිශ්‍ර ලා වර්ණ, ගුරුට හිමි කහ පාට වැනි ලා වර්ණ භාවිත කරන්න. දිලෙන සුදු පාටද ගෞරවනීය බව පෙන්වයි.

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -
Share This Article
Hiru Tv Blog
නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා පැය ගණනාවක්...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවේ අපි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ඇය මේ තරම් දුර ගෙවා ආවේ දුශ්කර ගමන් මාර්ගයක්.. ඒත් ඇය ඒ හැම දෙයක්ම සතුටෙන් බාර...
Hiru Tv Blog
ඇය නම් සරාගයෙන් දෑස් පිනවන තැනැත්තියක් කියන්න එක මේ ඡායාරූප පෙළ දුටු ගමන් නැවත...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණය, සන්නිවේදනය, ජාතික ආරක්ෂාව, පාරිසරික සුපරීක්ෂණය...
Hiru Tv Blog
ඔබ iPhone එකක් භාවිත කරන්නෙකු නම්, මීට වසර 9කට පමණ පෙර iPhone X මාදිලිය සමඟ ඇපල් සමාගම හඳුන්වා...
Hiru Tv Blog
තායිලන්තයෙන් හමුවූ පැරණි පොසිල කොටස් කිහිපයක් ඇසුරින්, වසර මිලියන ගණනකට පෙර...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top