"අම්මේ... අමාරුයි නේද?" රෝගී මවක් එක්ක දුක්බර දිවියක් ගෙවන ආබාධිත පුතෙකු ගැන ඇසෙන හද කම්පා කරවන පුවතක් මෙන්න..
මේ තවත් එක් සංවේදී කතාවක්. මවක් දරුවන් වෙනුවෙන් විඳිනා දුක් අපමණයි.
මවගේ සෙනෙහසට නොදෙවෙනි ආදරයක් පෙරළා මව වෙත ලබාදෙන දරුවෙකු ගැන මේ ඇසෙන්නේ වෙනස්ම කතාවක්.
"මම කවදාවත් අම්මව තනි කරන්නේ නැහැ. මට බැරි වුණත් මම අම්මව බලාගන්නවා." ඒ, තමන්ගේ ශරීරයේ අත් පා වල වාරු නැතිව, දරුණු වේදනාවක් විඳින අතරතුර වුවද, අංශභාගයෙන් පෙළෙන තම වියපත් මව වැළඳගෙන එම්.ඒ. සමන්ත පුෂ්පකුමාර (39) කියන හදවත කම්පා කරවන කතාවක්.
අද වන විට බොහෝ දරුවන් අතපය වාරු තිබියදීත්, මිල මුදල් යහමින් තිබියදීත්, තම දෙමාපියන් නොසලකා හරිමින් ඔවුන් වැඩිහිටි නිවාසවලට හෝ මහ මඟට දමා යන වකවානුවක, සමන්ත වැනි දරුවෙකු තමන්ගේ රෝගී තත්ත්වය පවා නොතකා මව වෙනුවෙන් සිදු කරන මේ උතුම් කැපකිරීම, මුළු මහත් සමාජයටම ලබා දෙන්නේ මහඟු ආදර්ශයක්. වෙසක් පොහොය වැනි උතුම් දිනයක, දෙමාපියන් රැකබලා ගැනීම යනු ලොව ඇති උතුම්ම බුද්ධ පූජාව බව සමන්ත වැනි දරුවන්ගේ ජීවිත තුළින් පසක් කර දෙනවා.
සමන්තගේ මෙම උතුම් ක්‍රියාව සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රාජකීය පණ්ඩිත, ශ්‍රී ඤාණිස්සර පිරිවෙන් කෘත්‍යාධිකාරී, විහාරාධිපති සහ ජාතික භික්ෂු එකමුතුවේ ජාතික සංවිධායක, පූජ්‍ය ඇලපත්ගම ඥානරතන හිමියන් එම අසරණ පවුලේ සුවදුක් වීමසීමට ගිය අවස්ථාවේ මෙසේ අනුශාසනා කළා.
"වෙසක් පොහොය වැනි උතුම් දිනයක අප සිහිකළ යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මව්පිය උපස්ථානයේ අනුසස්ය. සමන්ත අද සමාජයට ලබාදෙන්නේ බණ පොතේ ඇති දේ ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වන උතුම් ආදර්ශයකි. රෝගී මවක් බලාගැනීම යනු ලොව ඇති උතුම්ම බුද්ධ පූජාවයි. තමන්ට අත් පා වාරු නැතිවද, තම මව අත් නොහැර ඇය වෙනුවෙන් දිවි කැප කරන මේ දරුවා, සැබෑ බෞද්ධයෙකුගේ ලක්ෂණ මනාව පෙන්වා දෙයි."
ගල්කිරියාගම, ගල්ලෙනවත්ත ප්‍රදේශයේ, යම් පින්වත් ස්වාමීන් වහන්සේ නමක් ඉදිකර දුන් කුඩා නිවසක ඔවුන් දෙදෙනා ජීවත් වෙති. එහෙත්, මෙම දරුවා මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ, මවගේ කායික අපහසුතා මධ්‍යයේ වැසිකිළි පහසුකම භාවිතා කිරීමයි. නිවසට බොහෝ දුරින් පිහිටි වැසිකිළිය වෙත මව රැගෙන යාම දිනෙන් දින වයසට යන සමන්තට මෙන්ම, රෝගී මවට ද දරාගත නොහැකි බරක් වී තිබෙනවා.
අංශභාගය නිසා තනිව නැගිට ගැනීමට නොහැකි චාලට් නෝනා (64) මෑණියන්ව, එම දුරබැහැර වැසිකිළිය වෙත රැගෙන යාමට සිදු වී ඇත්තේ ආබාධිත රෝද පුටුවක් සහ 'වෝකර්' එකක ආධාරයෙනි. වැසි දිනක හෝ දැඩි අව් රශ්මියක් පවතින දිනකදී, අංශභාගයෙන් පීඩා විඳින මවක් මේ අයුරින් නිවසෙන් දුර බැහැරට රැගෙන යාමේදී, එම මව සහ දරුවා විඳින කායික මෙන්ම මානසික වේදනාව වචනයෙන් විස්තර කළ නොහැකියි.
"අම්මව එළියට අරන් යන්න හරිම අමාරුයි. අම්මා හරිම දුකක් විඳින්නේ. කාට හරි පුළුවන් නම් අපේ මේ පුංචි ගෙට යාබදව, වැසිකිළියක් හදලා දෙන්න. ඒක තමයි මගේ අම්මගේ එකම සහනය." සමන්ත සිය දෙඅත් එකතු කරමින් ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටින්නේ රන් මුතු නොව, තම මවගේ ගෞරවය සහ පහසුව වෙනුවෙන් නිවසටම යාබද වැසිකිළියකි.
දියමකුලුවෙකු දෂ්ට කිරීම හේතුවෙන් අත් පා වල වාරු අහිමි වී ඇති සමන්ත, තම වේදනාව පසෙක තබා, ඇඳටම සීමා වූ මවගේ සියලුම ආවතේව කටයුතු සිදු කරන්නේ අසීමිත ආදරයකිනි. දානපතියන් දෙන දෙයකින් කුස පුරවා ගන්නා ඔවුන්ගේ ලෝකය අද වන විට බරපතල අභියෝගයකට ලක්ව ඇත්තේ, නිවසට දුරින් වැසිකිළිය පිහිටා තිබීම නිසා මවට සිදුවන දැඩි අපහසුතාවය හේතුවෙනි.
මෙම අසරණ මවගේ සහ දරුවාගේ වේදනාව දකින නුවණැති පින්වතුනි, වෙසක් පොහොය වැනි දිනක, මේ අසරණ දරුවාගේ මවට සිදුවන අපහසුතාවය මඟහැරීමට ඔබට හැකි උපකාරයක් කළ හැකි නම්, එය මෙලොව ඔබ කරන උතුම්ම කුසලය වනු ඇත.
මෙම අසරණ පවුලට උදව් වීමට හෝ ඔවුන්ගේ කතාව පිළිබඳ තවදුරටත් කරුණු විමසීමට කැමති පින්වතුන් වෙතොත්, 0711516113 හෝ 0743836113 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකියි.