මුහුණ මත කළු ලප හා දුර්වර්ණ වීම් ඇතිවීමෙන් ඔබේ සුන්දරත්වය නැතිවී යනවා.
හිරු එලියට නිරාවරණය, හෝමෝන අසමතුලිතතා, ගර්භනී තත්වය, යම් යම් ඖෂධ, විටමින් ඌනතා, නින්ද නොමැතිකම සහ අනවශ්‍ය මානසික ආතතිය හේතුවෙන් මේ තත්වය ඇතිවිය හැකියි.
සරල ස්වභාවික ප්‍රතිකාර මගින් ඔබේ මුහුණ මත ඇති කළු ලප කැළැල් ඉක්මනින්ම ඉවත් කරගන්න පුළුවන්.
එවැනි ප්‍රතිකාර කිහිපයක් පහතින්...
01. ලෙමන් යුෂ

පුළුන් කැබැල්ලකට ලෙමන් යුෂ ස්වල්පයක් දමා කළු ලප ඇති ස්ථානයේ පිරිමදින්න. ලෙමන් යුෂ සමට උරාගත් පසු සාමාන්‍ය වතුරෙන් සෝදාහරින්න. කළු ලප අඩුවී යන තුරු දිනපතා සති 2ක් පමණ මෙම ප්‍රතිකාරය සිදුකරන්න.
02. අල

අල ගෙඩියකින් සිහින් පෙත්තක් කපාගෙන අඳුරු වී ඇති ස්ථානයේ තබන්න. විනාඩි 15ක් පමණ තැබීමෙන් පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. අල ගෙඩියක් ග්‍රේට් කර යුෂ වෙන් කරගෙන එම යුෂ මුහුණේ ආලේප කර තැබීමෙන් ද කළු ලප කැළැල් ඉක්මනින් ඉවත් කරගත හැකියි.
03. කෝමාරිකා

කෝමාරිකා පත්‍රයකින් යුෂ වෙන්කරගෙන මුහුණේ ආලේප කර අඳුරු පැහැ වී ඇති තැන් විනාඩි කිහිපයක් ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරන්න. පසුව විනාඩි 15ක් පමණ එය වියලෙන තුරු සිට සෝදාහරින්න. මෙය සතියක් පමණ දිනපතා සිදුකරන්න.
04. සුදුහඳුන්

සුදුහඳුන් කුඩු මේස හැඳි 1කට ග්ලිසරින් සහ රෝස වතුර ස්වල්පයක් එක්කර පේස්ට් එකක් ආකාරයට සාදාගන්න. පසුව එය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
05. කහ

කහ කුඩු මේස හැඳි 1කට කිරි මේස හැඳි 2ක් සහ ලෙමන් යුෂ තේ හැඳි 1ක් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. මෙම මිශ්‍රණය මුහුණේ ආලේප කර හොඳින් වියලුනු පසු මද උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
06. ලූනු

ලූනු ගෙඩියක් සිහින්ව කපා පොඩිකර යුෂ වෙන්කරගන්න. පසුව පුළුන් කැබැල්ලක් එහි පොඟවා කළු ලප ඇති තැන් වල ආලේප කර සමට හොඳින් උරාගත් පසුව සෝදාහරින්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -