‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටය මුලින් ම තිරගත වුණේ 1973 දී. ඒ වුණත් වත්මන් රසික පරපුර අතර පවා මේ චිත්‍රපටය ජනප්‍රියයි. මේ චිත්‍රපටය සිහිපත් කරද්දී නිතැතින්ම අපේ මතකයට නැඟෙන්නේ එහි ප්‍රධාන චරිතය රඟපෑ සුපිරි නළු, බෲස්ලී. මේ ජනකාන්ත නළුවා ජීවිතයෙන් සමුගත්තේ වයස අවුරුදු 33 දී හදිසියේ රෝගාතුරවීමෙන්.
ඒ 1973 මැයි 10 දා. එදින බෲස්ලී ‘එන්ටර් ද ඩ්‍රැගන්’ චිත්‍රපටයේ දෙබස් කැවීමක යෙදී සිටියා. හොංකොංහි ගෝල්ඩන් හාවස්ට් චිත්‍රාගාරයේ එම කටයුතුවල කාර්ය බහුලව සිටි ලී, හිටිහැටියේ ම ඇදගෙන වැටුණේ සෙසු ශිල්පීන් අන්ද මන්ද කරවමින්.
අධික හිසරදයක් ඇතැයි පැවසූ ඔහු බිම වැටුණේ අපස්මාර රෝගී තත්ත්වයකින්. වහාම රෝහල්ගත කෙරුණු ඔහුට ප්‍රතිකාර කිරීමෙන් පසුව ඔහුගේ අයහපත් තත්ත්වය සමනය වූවා.
1973 ජූලි 20 දා තම ජීවිතයේ අවසන් දිනය බව ලී නොසිතුවාට සැකයක් නැහැ. එදින ඔහු හොංකොං හි රැඳී සිටියේ ප්‍රවීණ නළු ජෝජ් ලැසෙන්බි සමඟ සාකච්ඡාවක නියැළෙන්නටයි. ලී ගේ බිරිය වන ලින්ඩා පවසා තිබුණේ එදින සවස 2 ට චිත්‍රපට නිෂ්පාදක රේමන්ඩ් වොව් හමුවීමට ලී අදහස් කර සිටි බවයි. ඒ, ‘ගේම් ඔෆ් ඩෙත්’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි.
චොව් සමඟ කළ සාකච්ඡාව සවස 4 ට පමණ අවසන් වූ පසුව දෙදෙනාම පිටත්ව ගියේ තායිවාන් නිළියක වූ බෙටී ටින් පී ව මුණ ගැසී චිත්‍රපටයේ තිර රචනය ගැන තවදුරටත් කතා බහ කිරීමටයි. එහිදී ලී පවසා ඇත්තේ තමන්ට තදබල හිසේ වේදනාවක් පවතින බවයි. ඒ නිසා ඔහුට බෙටී විසින් වේදනා නාශක ඖෂධයක් ලබාදී තිබෙනවා.
රාත්‍රී 7.30 ට පමණ ලී නින්දකට වැටී තිබෙනවා. මඳ වේලාවක් ගත වෙද්දී ලී ගැන සොයා බැලූ චිත්‍රපට නිෂ්පාදක චොව්ට දැකගත හැකිවී ඇත්තේ ඔහු තද නින්දකට වැටී සිටින අයුරුයි. ලී ව අවදි කරගන්නට චොව් උත්සාහ ගත්ත ද එය සාර්ථක වී නැහැ. පසුව, වහාම වෛද්‍යවරයකු කැඳවන්නට චොව් කටයුතු කළා.
වෛද්‍යවරයා විනාඩි 10 ක් පමණ ලීට ප්‍රතිකාර කර වහාම ගිලන් රථයකින් ඔහුව රෝහලට ඇතුළත් කළා. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටදීත් මේ අසහාය නළුවා අවසන් හුස්ම හෙළා තිබුණා.
ලීගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වූයේ ඔහුගේ මොළය අසාමාන්‍ය ලෙස ඉදිමී තිබූ බවයි. එහි තවදුරටත් සටහන් වූයේ වේදනා නාශක නිසා එවැනි ඉදිමුමක් සිදුවී ඇති බවයි. ලී ගේ හදිසි මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් වූයේ එය අපරීක්ෂාකාරී හදිසි අනතුරකින් සිදුවූ මරණයක් හැටියටයි. නමුත්, ලී ගේ මරණය පිළිබඳව විවිධාකාර අසත්‍ය පුවත් ද ගෙතෙන්නට පටන් ගත්තා.
ඔහු කිසියම් අයුරකින් ඝාතනය කර ඇති බවට ද කට කතා පැතිරුණා. මේ දුෂ්‍යමාන ආරංචි නිසා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ ප්‍රවීණ අධිකරණ වෛද්‍යවරයකු වූ ඩොනල්ඩ් ටෙයර් ද කැඳවා පරීක්ෂණ පවත්වන්නට සිදුවුණා. ටෙයර්ගේ වාර්තාවෙහි සඳහන් වූයේ ද ලී මිය ගියේ සාපරාධී නොවූ අපරීක්ෂාකාරී හදිසි අනතුරක් නිසා බවයි.
ලීගේ සමීප මිතුරකුවන සිනමා නළු චක් නොරිස් 1975 දී ප්‍රකාශ කළේ 1968 සිට ප්‍රතිජීවක සහ තවත් ඖෂධ ගැනීමට ලී පුරුදුව සිටි බවයි. සිරුරේ මස්පිඩු ලිහිල් වන්නට සහ නිතරම පැවැති හිසරදය වළක්වා ගන්නට එම ඖෂධ ලී විසින් භාවිතා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.
මෑතකාලයේදීත් ලී ගේ මරණයට හේතු විවිධ අයුරින් විවරණය කෙරුණා. 2017 දී විකාශය වූ රූපවාහිනී වැඩසටහනකට එක්වූ වෛද්‍ය මයිකල් හන්ටර් පැවැසුවේ 1970 සිට ලී ගේ පිටකොන්දේ වේදනාවකට ඔහු විසින් භාවිතා කළ ඖෂධයක් නිසා ඔහුගේ වකුගඩු පද්ධතියට එහි අහිතකරව බලපෑ බවයි.
මේ වසරේ (2018) දී ලී පිළිබඳව චරිතාපදානයක් රචනා කළ මැතිව් පෝලි, වෛද්‍ය වෘත්තිකයන්ගේ අදහස් කැටි කරමින් සඳහන් කළේ චිත්‍රපටවල රඟපෑමේ අවශ්‍යතාව මත ලී විසින් තම සිරුරේ උෂ්ණත්වය පාලනය කළ ස්වේද ග්‍රන්ථි 1972 දී ඉවත් කළ බවයි. මේ හේතුවෙන් ඔහුගේ සිරුරෙහි උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස වැඩිවී එයම ඔහුගේ මරණයට හේතුවූ බවයි.


124 Views
176 Views
109 Views
103 Views
139 Views
99 Views
158 Views
165 Views
191 Views
245 Views
111 Views
105 Views
98 Views
193 Views
212 Views
109 Views
90 Views
87 Views
76 Views
75 Views