වැරදීමකින් ගිය මුදල ආපහු ගන්නේ මෙහෙමයි.. අස්වැසුම සල්ලි දෙවරක් ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න..
අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට අමතර දීමනාවක් දෙවරක් ගෙවී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකරලා තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ ද්විත්ව ගෙවීම සිදුවී ඇති බවත්, එය නැවත අය කරගැනීමට අවශ්‍ය කටයුතු සූදානම්කර ඇති බවත් එම මණ්ඩලය ප්‍රකාශ කළා.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හා මැද පෙරදිග යුද වාතාවරණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් විශේෂ දීමනාවක් ලබාදීමට තීරණය කරලා තිබෙනවා.
ඒ අනුව අන්ත දුප්පත් පවුලකට රු. 7,500ක් ද, දුප්පත් පවුලකට රු. 5,000ක් ද, අවදානමට ලක්වූ පවුලකට රු. 2,500ක් ද බැගින් ගෙවීමට පියවරගෙන තිබෙනවා.
සාමාන්‍යයෙන් මසකට දෙවරක් ගෙවීම් කිරීමට පද්ධතිය තුළ ඉඩ නොමැති බැවින්, මේ විශේෂ දීමනාව "බාහිර Slip" ගොනු හරහා බැංකුවට යොමු කිරීමට මණ්ඩලය කටයුතු කරලා තිබෙනවා.
එහිදී එක් ලිපිගොනුවක් අත්වැරදීමකින් දෙවරක් බැංකු පද්ධතියට උඩුගත (Upload) වී ඇති බව වාර්තා කළා.
මේ හේතුවෙන් දුප්පත් කාණ්ඩයේ ප්‍රතිලාභීන් පිරිසකට රුපියල් 5,000 දීමනාව දෙවරක් බැරවී ඇතිබව තහවුරු වෙලා තිබෙනවා.
මේ ද්විත්ව ගෙවීම අත්හිටුවීමට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු සිය ගිණුම්වලින් මුදල් ලබාගෙන ඇතිබව අනාවරණය කළා.
ඒ අනුව රුපියල් 248,795,000ක මුදලක් මැයි මාසයේ ලබාදෙන අස්වැසුම දීමනාවෙන් අය කරගැනීමට මණ්ඩලය සැලසුම් කරලා තිබෙනවා.
මේ ක්‍රියාවලිය හරහා රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුවී නොමැති බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කළා.