Microsoft පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට.. Microsoft 365 ගැටලු විසඳමින් සිටින බව සමාගම කියයි.
ලොව පුරා පරිශීලකයින්ට බලපෑ Microsoft සේවා බිඳවැටීමෙන් අනතුරුව සිය පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.
Reuters පුවත් සේවය වාර්තා කරන්නේ, ඊයේ (13) ග්‍රිනිච් වේලාවෙන් පස්වරු 4.10 වනවිට Microsoft පාරිභෝගික සේවාවන් සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වූ බව සමාගම තහවුරු කර ඇති බවයි.
කෙසේ වෙතත්, ව්‍යාපාරික සහ ආයතනික පරිශීලකයින් සඳහා ලබාදෙන Microsoft 365 සේවාවන් තවදුරටත් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව එම සමාගම සඳහන් කරනවා.
විශේෂයෙන් සේවා බිඳවැටීම පැවති කාලය තුළ යැවීමට නොහැකිව එක්රැස් වූ විද්‍යුත් තැපැල් පණිවිඩ සම්බන්ධයෙන් තවදුරටත් නිරීක්ෂණ කටයුතු සිදුකරන බවයි Microsoft සමාගම පෙන්වා දෙන්නේ.
එම විද්‍යුත් තැපැල් පණිවිඩ සම්බන්ධ ගැටලු නිරාකරණය වී ඇති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව Microsoft 365 ආයතනික සේවාවන්හි බිඳවැටීම සම්පූර්ණයෙන් විසඳා ඇති බව ප්‍රකාශ කිරීමට නියමිතයි.
මෙම සිදුවීමෙන් පරිශීලකයින්ට එල්ල වූ බලපෑම සැලකිල්ලට ගනිමින් සේවාවන්හි ක්‍රියාකාරීත්වය දීර්ඝ කාලයක් නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇති බව ද සමාගම සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, යළි කිසියම් තාක්ෂණික ගැටලුවක් මතුවන්නේ ද යන්න සහ අමතර නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග අවශ්‍ය වන්නේ ද යන්න පිළිබඳව අවධානයෙන් පසුවන බවයි Microsoft සමාගම සිය සේවා තත්ත්වය පිළිබඳ නිල යාවත්කාලීන කිරීමේදී දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත්, Microsoft 365 ආයතනික සේවාවන් සියල්ල සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත්වූ බව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බව Reuters පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරනවා.