හොලිවුඩයම කම්පාවට පත් කළ අතිශය සංවේදී පුවත.. සුපිරි නළු ශ්රීමත් පැට්රික් ස්ටුවර්ට් දිවි ගමනට සමුදෙයි..
ලෝක ප්රකට Star Trek සහ X-Men චිත්රපට මාලාවන් ඔස්සේ ජනාදරයට පත් බ්රිතාන්ය ජාතික ප්රවීණ රංගන ශිල්පී ශ්රීමත් පැට්රික් ස්ටුවර්ට් (Sir Patrick Stewart) අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
ඇල්සයිමර් රෝගය (Alzheimer's Disease) සහ ලුවී බොඩි ඩිමෙන්ෂියා (Lewy Body Dementia) නමැති මතකය හා මොළයේ ක්රියාකාරීත්වයට බලපාන රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව සඳහන්.
පසුගිය පෙරේදා (28) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී බිරිඳ වන සනීගේ රැකවරණය යටතේ ඔහු අවසන් හුස්ම හෙළූ බව ඔහුගේ නිල Instagram ගිණුමේ පළ කළ නිවේදනයක දැක්වෙනවා.
1940 වසරේ එංගලන්තයේ යෝක්ෂයර් ප්රදේශයේ උපත ලැබූ පැට්රික් ස්ටුවර්ට් සිය රංගන දිවිය ආරම්භ කර ඇත්තේ වේදිකා නාට්ය ඔස්සේයි.
1966 වසරේදී Royal Shakespeare Company සමග එක්වූ ඔහු පසුව දශක හයකට අධික කාලයක් සිනමාව, රූපවාහිනිය සහ වේදිකාව තුළ සිය රංගන ප්රතිභාව විදහා දැක්වූවා.
විශේෂයෙන් Star Trek කතා මාලාවේ Captain Jean-Luc Picard චරිතය සහ X-Men චිත්රපට මාලාවේ Professor Charles Xavier චරිතය ඔහුට ලොව පුරා අතිමහත් ජනප්රියත්වයක් හිමිකර දුන්නා.
එමෙන්ම Logan, Dune සහ Robin Hood: Men in Tights ඇතුළු නිර්මාණ රැසකටද ඔහු සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා.
රංගන ක්ෂේත්රයට කළ සුවිශේෂී සේවය අගයමින් 2010 වසරේදී දෙවන එලිසබෙත් රැජින විසින් ඔහුට නයිට් පදවියක්ද පිරිනමනු ලැබුවා.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් Marvel Studios ආයතනය මෙන්ම ලොව ප්රකට රංගන ශිල්පීන් රැසක් සිය ශෝකය පළකර තිබෙනවා.
Star Trek රංගන ශිල්පී විලියම් ෂැට්නර් ප්රකාශ කර ඇත්තේ, පැට්රික් ස්ටුවර්ට් යනු බුද්ධිමත්භාවය, ගෞරවය සහ මනුෂ්යත්වය සිය රංගනය තුළින් විදහා දැක්වූ අතිවිශිෂ්ට කලාකරුවෙකු බවයි.
X-Men චිත්රපට මාලාවේ ඔහු සමග රංගනයෙන් එක්වූ හියු ජැක්මන් ද සිය ශෝකය පළකරමින් සඳහන් කර ඇත්තේ, වේදිකාවේ සහ සිනමාවේ විශිෂ්ටතම රංගන ශිල්පියෙකු ලෝකයට අහිමි වූ බවයි.
එමෙන්ම Royal Shakespeare Company ආයතනයද ඔහු සිය පරම්පරාවේ විශිෂ්ටතම ශේක්ස්පියර් රංගන ශිල්පියෙකු ලෙස හඳුන්වා තිබෙනවා.
සිය දීර්ඝ රංගන දිවිය තුළ සම්මාන රැසකින් පිදුම් ලැබූ ඔහුට හොලිවුඩ් Walk of Fame හි තාරකාවක්ද හිමිව තිබෙනවා.
ශ්රීමත් පැට්රික් ස්ටුවර්ට්ගේ අභාවයෙන් ලෝක සිනමාවට සහ වේදිකා නාට්ය කලාවට පිරිමැසිය නොහැකි අහිමිවීමක් සිදුව ඇති බවයි විදෙස් මාධ්ය පෙන්වා දෙන්නේ.
ඔහුගේ බිරිඳ සනී සහ දරුවන් දෙදෙනා වන ඩැනියෙල් සහ සොෆී ඔහුගේ අභාවයෙන් ශෝකයට පත්ව සිටිනවා.
මූලාශ්රය : BBC