කෘත්‍රිම බුද්ධිය හමුවේ චීනයේ තරුණ පරපුරට ලොකු පහරක්.. රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්..
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය ක්ෂේත්‍රයන්හි විශාල වෙනස්කම් සිදු වෙමින් පවතින බවත්, එමගින් නිෂ්පාදන ධාරිතාව ඉහළ ගියද විශේෂයෙන්ම තරුණ සේවකයන්ගේ රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බවත් නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙනවා.
ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකටම කෘත්‍රිම බුද්ධිය බද්ධ කිරීමට බීජිං පාලනය දරන උත්සාහය වේගවත් වීමත් සමග, මෘදුකාංග සංවර්ධනයේ සිට බෙදාහැරීමේ සේවාවන් දක්වා වූ ක්ෂේත්‍ර ගණනාවක නියුතු සේවකයන්ට මෙහි බලපෑම ඍජුවම එල්ල වෙමින් පවතිනවා.
මිනිසුන් විසින් සිදු කරන ලද පරිගණක කේතකරණ කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය යොදාගත හැකිදැයි සිය ආයතනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව රැකියාව අහිමි වූ බීජිං නුවර පදිංචි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ෆෙයි ෂාඕජුන් ද මෙසේ අසරණ වූවන් අතරින් එක් අයෙක්.
එම සමාගමේ සිදු කරන ලද සේවක කප්පාදුවේදී රැකියාව අහිමි වූ 160 දෙනාගෙන් එක් අයෙකු වූයේ ෆෙයි ය.
මෙම තාක්ෂණික පරිවර්තනය පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ, කෘත්‍රිම බුද්ධියේ හැකියාවන් දිනෙන් දින දියුණු වීමත් සමඟ මධ්‍යම මට්ටමේ පරිගණක ක්‍රමලේඛක තනතුරු බොහොමයක් ප්‍රතිස්ථාපනය වෙමින් පවතින බවයි.
රැකියාව අහිමි වීමෙන් පසු තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඉවත් වූ ෆෙයි, තම ඊළඟ වෘත්තීය පියවර පිළිබඳව තීරණයක් ගන්නා තෙක් මේ වන විට කෙටි වීඩියෝ නිර්මාණය කිරීමේ නිරතව සිටිනවා.
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වැළඳ ගැනීමේ වේගය අතිශය විමතිය දනවන සුළු මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
වෙළඳපොළ බුද්ධි තොරතුරු සපයන IDC ආයතනයට අනුව, 2024 වසරේදී චීන කාර්මික ව්‍යවසායන්ගෙන් AI ආකෘති සහ ඒජන්තවරුන් භාවිතා කළේ 10% කටත් වඩා අඩු ප්‍රමාණයක්.
කෙසේ වෙතත්, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ පිරිවැය අඩු කරගැනීමට සමාගම් දැක්වූ උනන්දුව නිසාම, පසුගිය වසර වන විට එම අගය සමස්ත කාර්මික ව්‍යාපාරවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
මෙම තාක්ෂණික පරිවර්තනය එදිනෙදා ජන ජීවිතය තුළද වඩ වඩාත් පැහැදිලිව දැකගත හැකි වෙමින් පවතිනවා.
තැපැල් සහ පාර්සල් වර්ගීකරණ මධ්‍යස්ථාන ඇතුළු සැපයුම් ජාල මෙහෙයුම් සඳහා මානවරූපී රොබෝවරුන් යොදවා ඇති අතර, මාර්ග ගමනාගමන කළමනාකරණය වැනි කාර්යයන් සඳහාද ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතය ආරම්භ වී තිබෙනවා.
මීට අමතරව, නගර පුරා ආහාර බෙදාහැරීමේ රොබෝවරුන්ගේ භාවිතය සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් පැවතීම, බෙදාහැරීමේ සේවාවන් සහ ඊට අනුබද්ධ ක්ෂේත්‍රවල රැකියාවල නිරත මිලියන සංඛ්‍යාත ජනතාවගේ අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් සහ බියක් ඇති කිරීමට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
මූලාශ්‍රය - Quartz