ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව වාර්තාවක්.. Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්..
ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ස්ටාර්ට්අප් ආයතනයක් වන 'Pixxel' සමාගම සිය Series C අරමුදල් රැස්කිරීමේ වටයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 30කට ආසන්න) දැවැන්ත ආයෝජනයක් ලබාගැනීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව, මෙය ඉන්දියාවේ අභ්‍යවකාශ තාක්ෂණික සමාගමක් විසින් එකවර ලබාගත් විශාලතම ආයෝජනය ලෙස ඉතිහාසගත වුණා.
සිංගප්පූරුවේ Temasek රාජ්‍ය ආයෝජන අරමුදල සහ බ්‍රිතාන්‍යයේ Seraphim අභ්‍යවකාශ තාක්ෂණික සමාගම මෙහෙයවූ මෙම අරමුදල් රැස්කිරීම සඳහා ගූගල් සමාගමේ අනුග්‍රහය ලබන 'රැඩිකල් වෙන්චර්ස්' සහ 'ග්‍රෝ එක්ස් වෙන්චර්ස්' යන පවතින ආයෝජකයින් දායක වී තිබෙනවා.
මීට අමතරව '360 වන් ඇසට්' සහ 'අයිඑම්එම් ඉන්වෙස්ට්මන්ට්' යන නව ආයෝජකයින්ද මෙම වටයට එකතු වී ඇති අතර, මෙම නව ආයෝජනයත් සමග Pixxel සමාගම මෙතෙක් ලබාගත් සමස්ත ආයෝජන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 195 දක්වා ඉහළ ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්දීය රජය අභ්‍යවකාශ ක්ෂේත්‍රය පෞද්ගලික අංශයට විවෘත කිරීමෙන් අනතුරුව අවෙයිස් අහමඩ් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම, සාම්ප්‍රදායික ඡායාරූපකරණයට වඩා ඔබ්බට ගිය පෘථිවි පෘෂ්ඨයේ තොරතුරු අනාවරණය කරගත හැකි Hyperspectral චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිය ගමන ආරම්භ කළා.
එතැන් සිට ක්‍රමයෙන් ව්‍යාප්ත වූ සමාගම, 'Aurora' නමැති පෘථිවි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගය මෙන්ම වාණිජ සහ රාජ්‍ය අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවශ්‍ය චන්ද්‍රිකා පද්ධති නිෂ්පාදනය කිරීමටද මේ වන විට යොමු වී සිටිනවා.
ආයතනය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, රාජ්‍යයන්, කර්මාන්ත සහ විවිධ ආයතන සඳහා පෘථිවි නිරීක්ෂණ දත්ත භාවිතයෙන් නිවැරදි තීරණ ගැනීමට පහසු වන ලෙස සැකසූ මෙහෙයුම් පද්ධතියක් (Operating System) නිර්මාණය කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයයි.