පාපන්දු ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ පෙරළියක්.. මෙවර ලෝක ශූරයන්ට රන් කුසලානයට අමතරව ලැබෙන ඓතිහාසික ත්‍යාගය මෙන්න.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරයන් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ ලබා නොදුන් සුවිශේෂී සහ ඓතිහාසික ත්යාගයක් හඳුන්වා දීමට ජාත්යන්තර පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායමට සුප්රසිද්ධ රන් කුසලානයට අමතරව, ඇමරිකානු NBA තරගාවලි ශෛලියේ අතිසුඛෝපභෝගී 'ශූරතා මුදුවක්' (Championship Ring) බැගින් හිමි වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කළා.
ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ මෙවැනි සම්මානයක් පිදීමට තීරණය කළ පළමු අවස්ථාව මෙය වන අතර, ජූලි 19 වැනිදා නිව්යෝර්ක් නිව්ජර්සි ක්රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගයේදී එකිනෙකාට එරෙහිව තරග වදින ආර්ජන්ටිනාව හෝ ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ගෞරවය ලබන ලොව පළමු ජාතික කණ්ඩායම බවට පත්වනවා.
ඇමරිකානු වෘත්තීය ක්රීඩා ක්ෂේත්රයේ, විශේෂයෙන්ම NBA (බාස්කට්බෝල්), NFL (ඇමරිකානු පාපන්දු) සහ මේජර් ලීග් බේස්බෝල් (MLB) තරගාවලිවල ජයග්රහණයේ ප්රධානතම සංකේතයක් ලෙස මෙම ශූරතා මුදු පිරිනැමීම දිගු කලක සිට සිදු කරනවා. මෙවර ලෝක කුසලාන සත්කාරකත්වය ඇමරිකාව ඇතුළු කලාපයට හිමිවීම නිමිත්තෙන් එම ක්රීඩා සංස්කෘතියට උපහාරයක් ලෙස මෙම නව සම්ප්රදාය පාපන්දු පිටියට ද එක් කර තිබෙනවා.
ඒ අනුව, තරගාවලිය පැවැත්වෙන 2026 වසර සිහිගැන්වීම සඳහා සමස්ත ලෝකයටම මෙවැනි මුදු 2,026ක් පමණක් නිපදවීමට ජාත්යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
එයින් මුදු 30ක් ලෝක ශූරතාව දිනා ගන්නා කණ්ඩායමේ ක්රීඩකයින් සහ නිලධාරීන් වෙනුවෙන් වෙන් කරන අතර, ඉතිරි මුදු 1,996 ලොව පුරා සිටින පාපන්දු ලෝලීන්ට නිල සමරු එකතුවක් (Collectibles) ලෙස මිලදී ගැනීමට අවස්ථාව සලසා දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.