වන අලියා පාදය විතරක් නෙවෙයි ජීවත් වුණු පුංචි ගෙපැලත් පොළොවටම සමතලා කරලා... අන්ත අසරණ වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්..
තණමල්විල, ඌව කුඩාඔය ප්‍රදේශයේදී පසුගිය දිනක සිදුවූ බිහිසුණු වන අලි ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා සිය පාදයක් අහිමි වූ අසරණ ගොවියෙකු වෙනුවෙන් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සුවිශේෂී රෝද පුටුවක් පරිත්‍යාග කර තිබෙනවා.
රුපියල් පනස්දහසක් (Rs. 50,000) වටිනා මෙම රෝද පුටුව ස්ථානාධිපතිවරයා විසින් සෘජුවම රෝහල වෙත ගොස් අදාළ ගොවියා වෙත පෞද්ගලිකවම බාරදීමට කටයුතු කළා.
මෙලෙස අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ තණමල්විල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයෙකු ලෙස සක්‍රීයව කටයුතු කළ ගොවියෙකි.
ඔහු සිය වගාබිමෙහි තෙල් ගසමින් සිටි අවස්ථාවකදී මෙම දරුණු වන අලි ප්‍රහාරයට ලක්ව ඇති අතර, එහිදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඔහුගේ එක් පාදයක් සම්පූර්ණයෙන්ම කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන්ට සිදු වී තිබෙනවා.
අතිශය ශෝකජනක කරුණ නම්, අවිවාහක පුද්ගලයෙකු වන මොහුගේ පදිංචි නිවෙසද වන අලින් විසින් මෑතකදී සම්පූර්ණයෙන්ම කඩා බිඳ දමා විනාශ කර තිබීමයි.
තමන් මුහුණ දී සිටින මෙම අන්ත අසරණ තත්ත්වය පිළිබඳව ගොවියා විසින් තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා, තමන්ට ගමන් බිමන් යාම සඳහා රෝද පුටුවක් ලබාදෙන ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබුණා.
එම ඉල්ලීම ලද සැනින් මානුෂීය අයුරින් ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් මෙම වටිනා පරිත්‍යාගය සූදානම් කර තිබෙනවා. තමන් අසරණ වූ මොහොතේ ශ්‍රී ලංකා පොලිසිය සිදු කළ මෙම උදාර සත්ක්‍රියාව වෙනුවෙන් එම ගොවියා රෝහල් ඇඳ මත සිට හැඬූ කඳුළින් යුතුව සිය හෘදයාංගම ස්තූතිය පිරිනමා තිබුණා.