මීගමුව බන්ධනාගාර ඛේදවාචකය.. ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි..
Friday, 10 July 2026 - 8:12 | Views - 179
“අනේ එයා කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. එදාමයි එතනට වැඩට ගිහින් තියෙන්නේ. දොරක්වත් තියෙන තැනක් දන්න කෙනෙක් නෙමෙයි. එහෙම උනා නම් එළියට පැනලා බේරෙන්න හරි එයාට තිබුණා. එක දවසයි එතැනට ගිහිල්ලා. ආයුධයක්වත් අතේ තිබිල නැහැ. අනේ එයාගේ මූණවත් බලන්න බැරි වෙන තරමට මුං ගහලා ගහලා තමයි එයාව මරලා දාලා තියෙන්නේ. මගේ දරුවට තාත්තෙක් නැති කළා. අපිට මේ කරපු අපරාදෙට දැන් කරන්න දෙයක් නෑ. අපි අසරණ වුණා.”

අසිනි කුමුදුමාලි (33) මෙලෙස විලාප තබමින් හඬා වැටුණේ තම සැමියාට සිදුවූ දරුණු ප්‍රහාරය පිළිබඳ වේදනාවෙන් මෙන්ම කම්පාවෙන්ද යුතුවයි.

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් මරණයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් හත් දෙනා අතරින් රටට අහිමි වූ එක් නිලධාරියෙකු වන්නේ බුලත්සිංහල, දෙල්මෑල්ල, අඹගහකන්ද පදිංචි අතුකෝරළගේ දර්ශන තරංගයි.

එක්දරු පියෙකු වන ඔහු 36 වන වියෙහි පසු වූ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නියාමකවරයෙකු ලෙස වසර හයක පමණ කාලයක් සේවය කර ඇති නිලධාරියෙක්. දැන් ඔහු බන්ධනාගාර සැරයන් තනතුරට උසස් කර තිබෙනවා.

වැඩිමහල් එක් සහෝදරියක් සහ සහෝදරයින් දෙදෙනෙකුට බාල දරුවා ලෙස උපත ලබා ඇති ඔහු ගේ දෙමාපියන් වන්නේ කරුණාසිරි අතුකෝරළ (71) සහ කරුණාවතී පෙරේරායි (69).

දෙල්මෑල්ල කණිෂ්ඨ විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළත් බුලත්සිංහල ජාතික පාසලෙන් උසස් පෙළ කලා අංශයෙනුත් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරගත් ඔහුට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වරම් අහිමි වූයේ ලකුණු කිහිපයක අඩුවීමකින්.

ඒ ගැන පසුතැවිලි නොවුණු ඔහු දෙල්මෑල්ල තැපැල් කාර්යාලයේ රැකියාවට ගියත් කුඩා කාලයේ සිටම ත්‍රිවිධ හමුදා නිල ඇඳුමට ඇළුම් කර තිබුණා.

වැඩිමහල් සහෝදරයා පොලිසියේත් දෙවැනි සහෝදරයා බන්ධනාගාරයේත් රැකියාව කළ අතර ඔහුගේ මවගේ පාර්ශ්වයේ බොහෝ දෙනෙකු ද ත්‍රිවිධ හමුදා සේවයේ නිරත වීම මෙයට තවත් එක් හේතුවක් වන්නට ඇති බව ඔහුගේ ඥාතීන් පැවසුවා.

දෙල්මෑල්ල තැපැල් කාර්යාලයේ වසර තුනක පමණ කාලයක් සේවය කළ ඔහු බන්ධනාගාර සේවයට එකතු වී තිබෙන්නේ සිය සහෝදරයා සමග පොලිසියේ සම්මුඛ පරීක්ෂණයට ගොස් ඔහු පමණක් එයට තේරීමෙන් පසුව බන්ධනාගාර නියාමක තනතුරට ඉල්ලුම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බව ඔහුගේ ඥාතින් සඳහන් කළා.

පාසල් කාලයේදී ‍ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු විවිධ ක්‍රීඩාවලට අති දක්ෂතා දැක්වූ ඔහු ලබා තිබූ ජයග්‍රහණද මේ සඳහා සුදුසුකම් වන්නට ඇති.

ඔහුගේ මව වන කරුණාවතී පෙරේරා හැඬු කඳුළින් පැවසුවේ මෙවැන්නක්.

“පුතා සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාග හුඟක් දක්ෂ විදිහට පාස් වුණත් කැම්පස් යන්න ලකුණු කීපයක් මදි වුණා. ඒ ගමන තමයි දෙල්මෑල්ල තොපැල් කන්තෝරුවේ තැපැල්කරුවෙක් විදිහට වැඩ කළේ. ඒක ස්ථිර වෙන්න තියෙද්දි තමයි එයා 2020 සැප් 06 මේ රස්සාවට ගියේ.

අපේ අම්මගේ තාත්තගේ පැති දෙකේම අය යුනිෆෝම් අඳිනවා. ඒ වගේම ගෙදරත් දෙන්නෙක් යුනිෆෝම් අඳින හින්දා එයා පොඩි කාලේ ඉඳලම ඒකට ආස කළා. එක සැරයක් යුද හමුදාවට යන්න හදලා මම දෙන්නගෙම සහතික හැංඟුවා. ඒ යුද කාලේ. ඊට පස්සේ දෙන්නම පොලිසියට දැම්මා. ලොකු පුතා පාස් වුණා මෙයා ෆේල් වුණා. ඒ ගමන තමයි තැපැල් කන්තෝරුවට ගියේ.

පුතා ටික කාලයක් හොරණ පැත්තේ පුද්ගලික ආයතනයක වැඩ කළා. ශෂිකලා දුවගෙ ගම හොරණ, බටුවිට. එයත් හොරණ ආයතනයක වැඩ කරනවා. එතනදි දැකලා දෙන්නා යාළුවෙලා තමයි විවාහ වුණේ.

මාස හතක දුවෙක් ඉන්නවා. පුතාලා බණ්ඩාරගම පැත්තේ ඉඩමක් අරන් ගෙයක් හදාගෙන යනවා. ඒකෙ වැඩ තාමත් බාගෙට කරලා තියෙන්නේ. දෙන්නටම වැඩට යන්න ලේසි නිසා ඒ ගෙදර ගිහින් දැන් අවුරුදු එකහමාරක විතර ඉඳන් නතර වෙලා තමයි උදේ හවස වැඩට යන්නේ.

එයාගේ දරුවට පුතා හරි ආදරෙයි. උදේ හවස ගෙදර ඇවිත් දරුවා බලන්න ඕන හින්දා තමයි ඒ ගෙදර පදිංචියට ගියෙත්. බ්‍රහස්පතින්ද මෙහෙ ඇවිල්ලා මාව බලලා ගියා.

නිවුස් එක දැකපු ගමන් මං පුතාට කතා කළා. පුතා ගත්තේ නැහැ. දුවගෙන් ඇහුවම මීගමු ගියා කියලා කිව්වා. පහුවදා ගත්තත් වැඩ නෑ. දුව කිව්වා අම්මේ දැන් කතා කළා මට. සඳුදා උදේ එළියට ඇවිල්ලා ගන්නම් කියලා කිව්වා කියලා. මං සඳුද උදේ නාරගල හර්ෂ පුතාලගේ ගෙදර ඉන්නකොට ඒ දුවට තමයි හර්ෂ පුතා මේ ගැන කියලා තියෙන්නේ. අපි ඊට පස්සේ මීගමු ගියා බලන්න.”

ඔහුගේ පියා වන කරුණාසිරි අතුකෝරළ මහතා මෙසේ පැවසුවා.

“පොලිසියෙ පුතා තමයි මල්ලිගේ බොඩිය අඳුන ගත්තේ. කිසිම කෙනෙක් අපට මේ ගැන කිව්වේ නෑ. ඊයේ තමයි ඇවිල්ලා කිවුවේ. පුතාල කට්ටියව නිරායුධව තමයි එතනට අතෑරලා තියෙන්නේ. ඩියුටි ඕෆ් වෙලා ගෙදර එන්න හදපු ළමයව තමයි යවලා තියෙන්නේ. එස්ටීඑෆ් එකත් එක්ක ගියා නම් මැරෙන්නේ නැහැ. ඔය එක නිලධාරියෙක් ළඟ හරි ආයුධයක් තිබුණ නං මෙහෙම විනාසයක් වෙන්නේ නැහැ. දැන් කතා කරලා වැඩක් නැහැ. අපිට අපේ දරුව නැති වෙලා ඉවරයි.”

බණ්ඩාරගම ප්‍රදේශයේ අඩක් ඉදිකළ නිවෙසක බිරිඳ හා හත් මස් සිගිති දියණිය සමග පදිංචිව උදේ හවස රැකියාවට ගිය ඔහු ඉකුත් 05 වැනිදා රැකියාවට ගිය අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ සිදු වූ සිද්ධිය නිසා එම ස්ථානයේ රාජකාරි කටයුතු සඳහා යොමුකර තිබුණා.

පසුදින එනම් 06 වැනිදා රැදවියන් වෙත කෑම ලබාදීමට ගිය අවස්ථාවේ නිරායුධ ඔහු ඇතුළු සෙසු පිරිස මෙම මිලේච්ඡ ප්‍රහාරයට ලක්ව ඝාතනය වී ඇති බවයි වාර්තා වන්නේ.
එම නිවෙසට පැමිණ සිටි බන්ධනාගාර නිලධාරියකු පැවසුවේ මෙවැන්නෙක්.

“තරංග වැඩ කළේ හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ බන්ධනාගාර නියාමකවරයෙක් විදියට. දැන් සැරයන් තනතුරට උසස් කරලයි තියෙන්නේ. 05 වෙනිදා සිද්ධිය වෙලා තමයි එයා එහෙ රාජකාරියට ගිහින් තියෙන්නේ. ඒක එදා සමථයකට පත්වුණා. පහුවදා නැවත කෑම දෙන්න ගිය වෙලාවෙදි තමයි දෙපිරිස අතරෙ මේ ගැටුම ඇති වෙලා තියෙන්නේ. පුදුම පළිගැනීමක් තමයි කරලා තියෙන්නේ.”

මෙවන් අකල් මරණයකට ගොදුරු වීමට සිදු කළ වරද කුමක්දැයි හෝ ඔහු නොදැන දෙල්මෑල්ල ගම්වාසීන්ගේ මෙන්ම බිරිඳ ඇතුළු නෑසියන් ගේ සෝ සුසුම් මැද ඔහු අද (09) පවුලේ සුසාන භූමියේදී මිහිදන් වුණා.
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව පුරා ඩෙංගු රෝග ව්‍යාප්තිය...
Hiru Tv Blog
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන්...
Hiru Tv Blog
මෙරට කලා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ කාගේත් වැඩි කතාබහට සහ ආදරයට පාත්‍ර වුණු ආදරණීය...
Hiru Tv Blog
පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සුන්දර සිනහවෙන් සහ රංගන දක්ෂතාවයෙන් හැඩ...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් අපේ රටේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්තු රූමත්...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top