සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි. පිටිය මැදදී ඇද වැටී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා..
බේරුවල, චීන කොටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ආදී සිසුන් අතර ඊයේ (05) සවස පැවැති සුහද ක්‍රිකට් තරගයක් අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීමකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ආදී සිසුන්ගේ සුහදත්වය සහ සමගිය වර්ධනය කරගැනීමේ අරමුණින් සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී, තරගයට සහභාගී වී සිටි ක්‍රීඩකයෙකු හදිසියේම ක්‍රීඩා පිටිය මැද ඇද වැටී ඇති බවයි බේරුවල පොලිසිය පවසන්නේ.
සිද්ධියෙන් පසුව එහි සිටි සෙසු ක්‍රීඩකයින් සහ පිරිස වහාම ක්‍රියාත්මක වී ඔහුව බේරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබුණත්, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
බේරුවල ප්‍රදේශයේම පදිංචිව සිටි මෙම 45 හැවිරිදි ක්‍රීඩකයාගේ මරණයට හේතුව හදිසි හෘදයාබාධයක් බවට මූලික විමර්ශනවලදී සැක කෙරෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතිනවා.
සුහදත්වය පතා එක්රැස් වූ මිතුරන් පිරිසක් අභියස මෙලෙස හදිසියේම ජීවිතයක් අහිමි වීම එම ප්‍රදේශය පුරා මහත් කම්පාවක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.