ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නොසලකා හරින අයට තරාතිරම නොබලා උපරිම දඬුවම්.. මදුරුවන් බෝවන ස්ථාන ගැන කියන්න.. 0117966366 අමතන්න.
දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ සෘජු මෙහෙයවීමෙන් සුවිශේෂී ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ක්ෂේත්‍රයේ නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට කඩිනම්, විශ්වසනීය සහ නිවැරදි තොරතුරු ලබාදීම සහ පැමිණිලි භාරගැනීම වෙනුවෙන් "ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක්" වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාපිත කර තිබෙනවා.
තම ප්‍රදේශවල හෝ තමන් දන්නා කිසියම් ස්ථානයක ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයේ අනාරක්ෂිත වටපිටාවක් පවතිනවා නම්, ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී වැටලීම් සිදු කිරීම සඳහා 011-7966366 යන විශේෂ දුරකථන අංකය හඳුන්වා දී ඇති බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර සඳහන් කරනවා.
මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්, සෙනසුරාදා දිනවලදී පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් සක්‍රියව පවතින බැවින් මහජනතාවට ඕනෑම පැමිණිල්ලක් හෝ තොරතුරක් මේ හරහා සන්නිවේදනය කිරීමේ හැකියාව පවතිනවා.
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) වැඩසටහනේ අතිරේක ලේකම්වරයා මහජනතාව වෙත දැඩි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා. තමන්ට අයිති පරිශ්‍රයන් සහ නිවාස වටපිටාව ඉතාමත් වුවමනාවෙන් පිරිසිදුව තබා නොගන්නා සහ මදුරු කීටයන් බෝවන ආකාරයට නොසලකා හරින පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිදු තරාතිරමක් හෝ තත්ත්වයක් නොබලන බව ඔහු අවධාරණය කළා.
රජය මේ සම්බන්ධයෙන් පවතින නීතිමය ක්‍රියාමාර්ග ඉතාමත් තදින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බැවින්, දඬුවම් ලැබීමට පෙර තම වගකීම ඉටුකරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. මෙම සාකච්ඡාව සඳහා ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මාධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය අසංක වෙදමුල්ල , ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීන් රැසක් ද එක්ව සිටියා.
ඒ අනුව Clean Sri Lanka ලේකම් කාර්යාලය, සෞඛ්‍ය, ආරක්ෂක, ජනමාධ්‍ය අමාත්‍යාංශ මෙන්ම ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදුකරන මෙම දැවැන්ත සෝදිසි මෙහෙයුම බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් අද (05) සිටම ක්‍රියාත්මක වනවා.
මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභා සීමාවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මීගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශත් වැටලීම්වලට ලක්වනවා.
එසේම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශ ද මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් යටතේ දැඩි සෝදිසියට ලක් කිරීමට නියමිතයි. ඩෙංගු වසංගතයෙන් රටත්, ඔබේ දූ දරුවනුත් බේරාගැනීම වෙනුවෙන් වගකිවයුතු පුරවැසියෙකු ලෙස ඉහත දුරකථන අංකය භාවිත කරමින් රජයේ මෙම ජාතික මෙහෙයුමට උපරිම දායකත්වය ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.