බස්නාහිර පළාතේ මේ පැතිවල ඉන්න අය පරිස්සම් වෙන්න.. අද ඉඳන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්...
බස්නාහිර පළාතේ ඩෙංගු අධි අවදානම් කලාප 22 ක් ආවරණය වන පරිදි අද (05) සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කෙරෙනවා.
ඒ සඳහා සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ රාජ්‍ය ආයතන මෙන්ම ස්වේච්ඡා සංවිධාන ද එක්වීමට නියමිතයි.
ඒ අනුව ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල මෙන්ම කොළඹ මහනගර සභාවේ කලාප 03 ක් ඇතුලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 09 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.
එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජා ඇල, මහර, වත්තල, මීගමුව හා මිනුවන්ගොඩ යන සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශ 08 තුළත් කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය හා කලුතර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 05 තුළද මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම ක්‍රියාවට නැංවෙනු ඇති.
මේ අතර, මෙරට ඩෙංගු මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබූ අතර, වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පරික්ෂා කළ පාසල්වලින් සියයට 40 ක ප්‍රතිශතයක තවමත් ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර ඊයේ දිනයේදී ප්‍රකාශ කළා.