විශ්‍රාම වැටුප් පද්ධතියට ඔරොත්තු නොදෙන බරක්? වසරකට විශ්‍රාමිකයන් විසි දහසක වැඩිවීමක්..
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් පද්ධතියට වාර්ෂිකව විශ්‍රාමිකයන් විසි දහසක් (20,000) පමණ අලුතින් එකතු වන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පසුගියදා පැවැති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය කර තිබෙනවා.
ඉදිරි වසර පහක පමණ කාලය තුළදී දැනට සිටින රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවට සමාන වන ලෙස විශ්‍රාමික ප්‍රජාව ද වේගයෙන් වර්ධනය වනු ඇති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නා. පසුගිය අයවැය යෝජනාවලට අනුව විශ්‍රාම වැටුප් වැඩි කිරීම වෙනුවෙන් ඉදිරි වසර දෙකේදී රුපියල් කෝටි හයදහස බැගින් වෙන් කළ යුතු වෙනවා.
ඒ අනුව, ලබන වසරේ විශ්‍රාම වැටුප් සඳහා රුපියල් කෝටි 56,500ක් ද, ඊළඟ වසර සඳහා රුපියල් කෝටි 56,565ක් ද වශයෙන් අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදුවන බව නිලධාරීන් සඳහන් කළා. මෙම තත්ත්වය පිළිබඳව මුදල් කාරක සභාවේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.
දැනට මෙරට විශ්‍රාමිකයන් හත් ලක්ෂ විසි දහසක් (720,000) පමණ සිටින අතර, වාර්ෂිකව එම පද්ධතියට අලුතින් එක්වන සංඛ්‍යාව 25,000ත් 30,000ත් අතර අගයක් ගන්නවා. කෙසේ වෙතත්, මරණ හෝ වෙනත් හේතු මත වාර්ෂිකව විශ්‍රාම වැටුප් ගෙවීම් නතර වන්නේ 10,000ක පමණ පිරිසකට පමණයි. ඒ අනුව ශේෂය ලෙස වසරකට 20,000ක පමණ පිරිසක් ශුද්ධ වශයෙන් පද්ධතියට අලුතින් එකතු වනවා.
මීට අමතරව, 2004 වසරේ සිටම 'දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්' (Contributory Pension Scheme) පිළිබඳව සාකච්ඡා වුවද, මේ දක්වා ඒ වෙනුවෙන් කිසිදු ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පෙන්වා දුන්නා.
මෙම වාර්ෂික දැවැන්ත පිරිවැය හේතුවෙන් අනාගතයේදී රටේ ආර්ථිකයට ඇති විය හැකි බලපෑම පිළිබඳව කාරක සභාව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා. මේ වන විටත් මුදල් කාරක සභාවේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ දත්ත විශ්ලේෂණයක් (Data Analysis) ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කරන සියලුම නිවැරදි දත්ත කඩිනමින් ලබා දෙන ලෙස සභාපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.