කැලණියේ ආරාමයක් ඉස්සරහා මිනී ඔළුවක් තබා මෙහෙණින් වහන්සේව එළවන්න හැදුවේ කවුද? චෝදනාව ප්‍රදේශයේම හිමිනමකට..
Sunday, 28 June 2026 - 18:11 | Views - 238
කැලණිය, නුංගමුගොඩ ප්‍රදේශයෙන් අතිශය සංවේදී මෙන්ම දැඩි ආන්දෝලනාත්මක පුවතක් වාර්තා වනවා. ඒ, එහි පිහිටි ආරාමයක දොර ඉදිරිපිට කිසියම් පිරිසක් විසින් මිනී ඔළුවක් ගෙනැවිත් තබා එහි වැඩවසන මෙහෙණින් වහන්සේට මරණ බිය ගන්වා එළවා දැමීමට දැරූ නින්දිත උත්සාහයක් පිළිබඳවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලීසිය විසින් මේ වන විටත් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීමට මුහුණ දී ඇති මෙහෙණින් වහන්සේ පසුගිය 26 වැනිදා භාවනා වැඩසටහනකට සහභාගී වීම සඳහා අනුරාධපුරයට වැඩම කර තිබෙනවා. ඇය නැවත ආරාමයට වැඩම කළ අවස්ථාවේදී දැක ඇත්තේ තමන් වහන්සේ ලැඟුම් ගන්නා කාමරයේ දොර ඉදිරිපිට භයානක ලෙස මිනී ඔළුවක් තබා ඇති අයුරුයි. ඉන් දැඩි සේ කම්පනයට පත් වූ මෙහෙණින් වහන්සේ වහාම මේ පිළිබඳව පෑලියගොඩ මූලස්ථාන පොලීසිය වෙත පැමිණිලි කිරීමට පියවර ගෙන තිබෙනවා.

පැමිණිල්ලෙන් පසු වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කළ අතර, ඊයේ (27) පස්වරුවේ කොළඹ අලුත්කඩේ අංක පහ වැඩබලන මහෙස්ත්‍රාත් ශ්‍රියාන් පුංචිහේවා විසින් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් ද සිදුකරනු ලැබුවා. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මිනී ඔළුව පොලිස් භාරයට ගත් අතර, මෙහෙණින් වහන්සේට නැවත ආරාමය තුළට වැඩම කිරීමට අවසර ලබා දී තිබෙනවා.

වාර්තා වන අන්දමට මීට පෙර මෙම ආරාමයේ වැඩසිටි මෙහෙණින් වහන්සේ අපවත් වීමෙන් අනතුරුව, වත්මන් මෙහෙණින් වහන්සේ 2024 වර්ෂයේ සිට එහි නිත්‍ය ලෙස වැඩවාසය කර තිබෙනවා.

තමන් වහන්සේව මෙම ස්ථානයෙන් පලවා හැරීමේ අරමුණින් ප්‍රදේශයේම වැඩවසන වෙනත් හිමිනමක විසින් මෙම ක්‍රියාව සිදුකරන්නට ඇති බවටයි මෙහෙණින් වහන්සේ සෘජුවම චෝදනා කරනවා.

ලැබෙන තොරතුරු අනුව, සිද්ධිය වූ 26 වැනිදා පෙරවරුවේ චෝදනාවට ලක්ව ඇති එම හිමිනම ත්‍රීරෝද රථයකින් මෙම ආරාමය අසලට පැමිණ නැවත හැරී යන අයුරු ප්‍රදේශවාසීන් ද දැක තිබෙනවා.

මෙම සිද්ධියට පෙර ද අවස්ථා කිහිපයකදීම මෙම මෙහෙණින් වහන්සේට හිරිහැර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මිනී ඔළුව ගෙනත් දැමූ බවට සැකකෙරෙන අදාළ හිමිනම විසින් මීට පෙර ආරාම භූමියේ රෝපණය කර තිබූ බෝධීන් වහන්සේ විනාශ කර, ආරාමයේ නාමපුවරුව ද කඩා දමා ඇති බවට බරපතළ චෝදනා එල්ල වී තිබෙනවා.

සිවුරට ද නිගරු කරමින් ආගමික ස්ථානයක් තුළ මෙවැනි භීෂණයක් ඇති කිරීමට උත්සාහ කළේ කවුද යන්න සෙවීම සඳහා පෑලියගොඩ මූලස්ථාන පොලීසිය මේ වන විටත් විමර්ශන රැසක් දියත් කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top