තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේදී බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි.. මගීන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කෙරේ.
තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල, වජිර වංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගාල්ලේ සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ තවත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගන්දර පොලිසිය පවසන්නේ.
අනතුරින් බස් රථ දෙකෙහිම රියදුරන් ඇතුළු විශාල පිරිසක් තුවාල ලබා ඇති අතර, ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව ඔවුන් කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
පොලිස් වාර්තාවලට අනුව, අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 25 දෙනෙකු මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් 15 දෙනෙකු තලල්ල සහ බතීගම රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරනු ලබනවා.