"අවසාන තත්පරය දක්වා ඇයව විශ්වාස කළ කේතන්" මනාලිය සහ රහස් පෙම්වතා ගැසූ මාරක සැලැස්ම මෙන්න.
Thursday, 25 June 2026 - 16:18 | Views - 245
විවාහ මංගල්‍යය සඳහා ඉන්දියන් රුපියල් කෝටි 17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 270කට අධික) වැය කරමින් රාජස්ථානයේ සුපිරි මාලිගාවක් වෙන්කර, අමුත්තන් සඳහා පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කර තිබූ දැවැන්ත මංගල සිහිනයක් සැබෑ වීමට මොහොතක් තිබියදී සිදුවූ තරුණ ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ මරණය, ඔහුගේ අනාගත මනාලිය සහ ඇගේ රහස් පෙම්වතා විසින් සිදුකරන ලද ඝාතනයක් බව පූනේ ග්‍රාමීය පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සහ දේපළ වෙළඳාම් ව්‍යාපාරිකයෙකු වන විශාල් අගර්වාල්ගේ පුත් 25 හැවිරිදි කේතන් අගර්වාල් මෑතකදී විදේශයන්හි අධ්‍යාපනය නිමවා පැමිණ පවුලේ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් සිටි තරුණයෙක්.

ඔහු පසුගිය ජූනි 18 වෙනිදා ලෝහගාඩ් බලකොටුවේදී අඩි 350ක ප්‍රපාතයකට වැටී මියගොස් තිබුණා.

අනතුරෙන් පසු කේතන්ගේ 20 හැවිරිදි පෙම්වතිය වූ සියා ප්‍රවීන් ගෝයල්, බලකොටුව තරණය කරමින් සිටියදී ඡායාරූපයක් ගැනීමට යාමේදී කේතන් පය ලිස්සා ප්‍රපාතයට වැටුණු බව ඔහුගේ පවුලේ අයට දුරකථනයෙන් අමතා පවසා තිබුණා.

පැය තුනක මෙහෙයුමකින් පසු කේතන්ගේ සිරුර සොයාගැනීමෙන් අනතුරුව ලෝනාවාලා ග්‍රාමීය පොලීසිය මුලින් එය හදිසි අනතුරු මරණයක් ලෙස සටහන් කරගත්තා.

කෙසේ වෙතත්, කේතන් යනු නිරන්තරයෙන් කඳු තරණය කරන්නෙකු බැවින් ඔහුගේ සහෝදරියට මෙම "අනතුරු කතාව" පිළිබඳව දැඩි සැකයක් මතුව තිබෙනවා. කේතන්ගේ අවමංගල්‍ය උත්සවයෙන් දින හතරකට පසු සියා ගෝයල් ඔවුන්ගේ නිවසට පැමිණි අවස්ථාවේදී, සහෝදරිය ඇගෙන් ඉතා සියුම් ලෙස ප්‍රශ්න කළා.

එහිදී සියා ලබාදුන් පරස්පර විරෝධී සහ මගහැර යන සුළු පිළිතුරු නිසා සහෝදරියගේ සැකය තවත් දැඩි වූ අතර, ඇය පවුලේ අය සමඟ එක්ව පොලීසියෙන් නැවත පරීක්ෂණයක් ඉල්ලා සිටියා.

පවුලේ ඉල්ලීම මත පොලීසිය තාක්ෂණික සාක්ෂි සහ CCTV දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කළා. එහිදී ජූනි මාසයේ පැවැති දැඩි උණුසුම් කාලගුණය නොතකා, හිස ආවරණය වන පරිදි 'හුඩියක්' (Hoodie) පැළඳගත් අද්භූත පුද්ගලයෙකු කේතන් සහ සියා ගමන් කළ වාහනය පසුපස හඹායන අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබුණා.

මෙම අසාමාන්‍ය ඇඳුම කෙරෙහි පොලීසියේ අවධානය යොමු වූ අතර, පසුව එම පුද්ගලයා පූනේ නුවර BBA උපාධිය හදාරන 22 හැවිරිදි චේතන් බාබුලාල් චෞද්‍රි බව හඳුනා ගැනීමට හැකි වුණා.

වාණිජ විද්‍යා ශිෂ්‍යාවක වන සියා සහ චේතන් වසර තුනක සිට සබඳතාවක් පවත්වා ඇති බව පොලිස් තාක්ෂණික පරීක්ෂණවලදී හෙළි වුණා. මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා මාස කිහිපය තුළ පමණක් ඔවුන් දෙදෙනා වාර 2,004ක් දුරකථනයෙන් සම්බන්ධ වී පැය 238කට වඩා වැඩි කාලයක් FaceTime සහ WhatsApp හරහා කතා කර ඇති බවද හෙළි වුණා.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් දෙදෙනාම අපරාධය පිළිගෙන තිබෙනවා. සියාට කේතන් සමඟ විවාහ වීමට කිසිදු කැමැත්තක් මුල සිටම තිබී නැහැ. ඇය චේතන් සමඟ එක්ව කේතන්ව ජීවිතයෙන් ඉවත් කිරීමට මෙම රහසිගත කුමන්ත්‍රණය දියත් කර තිබෙනවා.

චේතන් කලින්ම බලකොටුවට පැමිණ මොවුන් පසුපස ගොස් ඇති අතර, සියාගේ උපන්දිනය දිනට පෙර දින ඇය බලකර කේතන්ව මෙම බලකොටුව වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදී ලැබුණු අවස්ථාවකින් ප්‍රයෝජන ගත් සියා සහ චේතන් එක්ව කේතන්ව ප්‍රපාතයට තල්ලු කර දමා ඇති අතර, පසුව පොලීසිය මුලාවේ දැමීම සඳහා සියා සමාජ මාධ්‍ය වෙත ශෝකී සටහන් ද එක් කර තිබුණා.

පොලිස් පරීක්ෂණවලට අනුව, සියා සහ කේතන් මීට පෙර දෙවතාවක්ම ලෝහගාඩ් බලකොටුවට ගොස් තිබූ අතර, එක් වතාවකදී කේතන් අවසන් මොහොතේ ගමන අවලංගු කර තිබුණා. මෙය කේතන්ව ඝාතනය කිරීමට ඔවුන් දැරූ සිවුවැනි උත්සාහය විය හැකි බව පොලීසිය සැක පල කරනවා.

මීට දින 4කට පෙර (ජූනි 14) ද සියා විසින් කේතන්ව මෙම කොටුවෙන්ම පහළට තල්ලු කර තිබූ අතර, එදින කේතන් ගසක් උඩට වැටී බේරී තිබුණා. එහිදී සියා පැවසූ "සර්පයෙකුගෙන් බේරීමට තල්ලු කළා" යන බොරු කතාව කේතන් විශ්වාස කර තිබුණා.

මීට අමතරව, ජූනි මුල් සතියේ බාලි දූපත්හි පැවැත්වීමට තිබූ විවාහයට පෙර ඡායාරූප ශිල්පී කටයුත්තක් ද අවලංගු කිරීමට සිදුවී ඇත්තේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණි පසු කේතන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අතුරුදන් වී ඇති බව දැනගැනීමෙනි. පොලීසිය පවසන්නේ කේතන් සමඟ බාලි යාම මඟහැරීම සඳහා සියා විසින් එම ගමන් බලපත්‍රය සඟවා ඇති බවයි.

ලෝනාවාලා ග්‍රාමීය පොලිස් ස්ථානය සහ ප්‍රාදේශීය අපරාධ විමර්ශන අංශය එක්ව මෙම ඝාතනය සඳහා සැකකරුවන්ට වෙනත් කිසිවෙකු හෝ උදව් උපකාර කර ඇත්දැයි සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top