යාපනයේ සිට කතරගමට යන ‘සුබ්‍රමනියම්’... බැතිමතුන් සමඟ දින 33ක් තිස්සේ අඛණ්ඩව පාද යාත්‍රාවේ යන අපූරු සුනඛයා..
යාපනයේ සිට කතරගම පුදබිම දක්වා ගමන් ගන්නා වාර්ෂික පාද යාත්‍රාවට ස්වේච්ඡාවෙන්ම එක්වූ ‘සුබ්‍රමනියම්’ නමැති සුනඛයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය මෙන්ම නැගෙනහිර පළාත ඇතුළු දිවයින පුරා දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
දින 33ක පමණ කාලයක සිට බැතිමතුන් සමඟ අඛණ්ඩව පා ගමනින් යන මෙම සුනඛයා දැකබලා ගැනීම සඳහා මාර්ගය දෙපස විශාල ජනතාවක් රැස්වන බව වාර්තා වුණා.
මෙම පාද යාත්‍රා කණ්ඩායමේ නායක ජයවේල් ස්වාමි ප්‍රකාශ කර ඇති අන්දමට, මුලතිව් – මුල්ලියාවලෙයි ප්‍රදේශය පසුකරමින් සිටියදී කිසිදු අයිතිකරුවෙකු නොමැතිව මෙම සුනඛයා ස්වේච්ඡාවෙන්ම ඔවුන් සමඟ ගමනට එක්ව තිබෙනවා.
බැතිමතුන් මෙය කදිරදේව (මුරුගන්) දෙවියන්ගේ හාස්කමක් ලෙස සලකන අතර, උගේ ගෙලෙහි පටු රෙදි කඩක් බැඳ, නළලත විභූති සහ කුංකුම තිලක තබා ‘සුබ්‍රමනියම්’ යන නාමයෙන් හඳුන්වනු ලබනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී මෙම සුනඛයා සුළු අසනීප තත්ත්වයකට පත්වූ අවස්ථාවේදී පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමටද බැතිමතුන් පියවර ගෙන තිබෙනවා.
ස්වභාවයෙන්ම මාංශ භක්ෂක සත්වයෙකු වුවද, පසුගිය දින 32ක කාලය පුරාම මෙම සුනඛයා බැතිමතුන් විසින් පිරිනමනු ලබන බිස්කට්, කිරි, පාන් සහ නිර්මාංශ බත් (කැඳ සහ ප්‍රසාද) පමණක් ආහාරයට ගැනීම කාගේත් මවිතයට හේතු වී තිබෙනවා.
මෙම සත්වයාගේ සුවිශේෂී හැසිරීම් රටාව දුෂ්කර පාද යාත්‍රාවේ යෙදෙන සෙසු බැතිමතුන්ට ද ලොකු ආධ්‍යාත්මික ශක්තියක් සහ දිරිගැන්වීමක් සපයන බවයි බැතිමතුන් වැඩිදුරටත් පවසන්නේ.