සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි. ජූලි 16 වැනිදාට පෙර අයදුම් කරන්න.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය හෙවත් ‘ජිට්’ (GIT) 2026 විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මෙම විභාගය සඳහා අයදුම්පත් ලබන ජූලි මස 16 වැනිදා දක්වා මාර්ගගතව (Online) ඉදිරිපත් කළ හැකියි. සියලුම අයදුම්පත් පාසල් විදුහල්පතිවරුන් හෝ ආයතන ප්‍රධානීන් හරහාම පමණක් ඉදිරිපත් කළ යුතු වනවා.
අපේක්ෂකයන්ට තනි තනිව අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවසර නොමැති අතර, විදුහල්පතිවරුන් මාර්ගගත පද්ධතියට පිවිසීමට පෙර විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඇති මාර්ගෝපදේශ අනුගමනය කළ යුතුයි. පාසල් බලධාරීන්ට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (Username) සහ මුරපද (Password) භාවිත කරමින් මෙම අයදුම්පත් යොමු කළ හැකියි.
එමෙන්ම, ඉදිරිපත් කරන ලද අයදුම්පතේ මුද්‍රිත පිටපතක් අනාගත පරිශීලනය සඳහා සුරක්ෂිතව තබා ගත යුතු බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මෙම වසරේ (2026) 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන් මෙන්ම 2027 වසරේදී ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් මෙම විභාගය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබනවා.
පෞද්ගලික පාසල් අපේක්ෂකයන් සඳහා, ශිෂ්‍ය තොරතුරු අදාළ දත්ත ගබඩාවට ඇතුළත් කිරීමෙන් පසුව විභාග ගාස්තු ගෙවිය යුතු වනවා. ගෙවීම් ක්‍රියාවලිය අවසන් වූ පසු අමතර සිසුන් ලියාපදිංචි කළ නොහැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ හෝ 011 2784537, 011 2786616 සහ 011 2784208 යන දුරකථන අංක හරහා විභාග දෙපාර්තමේන්තුව අමතා තොරතුරු ලබාගත හැකියි.
ලංකාදීප පුවත්පත ඇසුරෙන්..