ඉදිරි වසරවල 1 ශ්‍රේණියේ ඇතුළත් කිරීම් සිද්ධ වෙන්නේ අලුත් විදිහකට.. අධ්‍යාපන අමාත්‍යාංශය සකස් කළ නව සැලසුම මෙන්න.
එළඹෙන 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන හා උපදෙස් ඇතුළත් නව චක්රලේඛය නිකුත් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යවරිය වශයෙන් අග්රාමාත්යවරිය ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
රජයේ පාසල්වල පළමුවන ශ්රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාමාන්යයෙන් එක් එක් වර්ෂයට අදාළව චක්රලේඛ උපදෙස් නිකුත් කරනු ලබනවා. මෙමඟින් අධ්යාපනයේ සමසාධාරණ ප්රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිද භාවයකින් යුතුව සහ අක්රමිකතා අවම වන අයුරින් කටයුතු කිරීමට අවශ්ය විධිවිධාන සැලසීම අරමුණු කෙරෙනවා.
මෙම නව චක්රලේඛය සකස් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් සහ අධ්යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමිනි. එමෙන්ම පවතින නව අධ්යාපන ප්රතිසංස්කරණ කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.