ජූලි මාසයේ බස් ගාස්තු සංශෝධනයේ අලුත්ම තත්ත්වය.. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන ලකුණු.
මෙම වසර සඳහා වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 03 වැනිදා සිට ක්රියාත්මක වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
සාමාන්යයෙන් වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සෑම වසරකම ජූලි 01 වැනිදා සිට ක්රියාත්මක වුවද, ජූලි මාසය ආරම්භයේදී සිදුවීමට නියමිත මාසික ඉන්ධන මිල සංශෝධනය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය දින දෙකකින් ප්රමාද කිරීමට අවධානය යොමු වී ඇති බව ඔහු සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් සෙසු බස් සංගම් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉදිරියේදී සිදුවන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු වුවද, ඉදිරි මාස 6ක කාලය සඳහා බස් ගාස්තු අඩු කිරීමට පෞද්ගලික බස් රථ ක්රියාකරුවන් කිසිසේත්ම සූදානම් නොමැති බව ගැමුණු විජේරත්න අවධාරණය කළා.
වත්මන් බස් කර්මාන්තය මුහුණ දී ඇති බරපතළ අර්බුදය ඊට හේතුව බව පෙන්වා දුන් සභාපතිවරයා, ජුනි පළමුවැනිදා සිට මේ දක්වා ඩීසල් ලීටරයකින් රුපියල් 25ක පමණ පාඩුවක් ලබමින් බස් ධාවනය කිරීම නිසා සමස්ත කර්මාන්තයට බිලියන ගණනක අලාභයක් සිදුව ඇති බව ප්රකාශ කළා.
එබැවින් ඩීසල් මිල අඩු වුවහොත් එම සහනය බස් හිමියන් වෙත ලැබිය යුතු බවත්, සිදු වූ පාඩුව පියවා ගැනීමට බස් කර්මාන්තයට මාස 6ක කාලයක් අවශ්ය බවත් ඔහු කියා සිටියා.
ඩීසල් මිල අඩු වන සෑම අවස්ථාවකම බස් ගාස්තු ද වහාම අඩු කළ යුතු බවට කිසිදු ප්රතිපත්තිමය ප්රතිපාදනයක් නොමැති බවත්, අවශ්ය නම් ඕනෑම අයෙකුට එම ස්ථාවරයට අභියෝග කළ හැකි බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් අභියෝග කළා.