බකමූණ කළඹමින් මහ දවල් කනත්තේ බලි නටයි.. බලි පූජා පැවැත්වූ කාන්තාවන් දෙන්නා පොලිස් අත්අඩංගුවට.
මහ දවල් පොදු සුසාන භූමියකට ඇතුළු වී, සොහොන් කොත් හාරමින් බලි පූජාවක් පවත්වමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (20) දහවල් බකමූණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බකමූණ පොලිස් බල ප්‍රදේශයට අයත් යාය 25 ගම්මානයේ පිහිටි "12 යාය පොදු සුසාන භූමියේ" මෙම අත්භූත පූජාව පවත්වා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළා.
ඊයේ දහවල් 12:00 ට පමණ මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකුට සුසාන භූමිය තුළ සිදුවන මෙම අසාමාන්‍ය ක්‍රියාව දැක ගන්නට ලැබී ඇති අතර, ඔහු වහාම ඒ පිළිබඳව ගම්වාසීන් දැනුවත් කර තිබෙනවා.
ගම්වාසීන් පැමිණ පරීක්ෂා කිරීමේදී දැකගත හැකි වී ඇත්තේ මීට සති දෙකකට පමණ පෙර මිහිදන් කළ මළසිරුරක් සහිත සොහොනක් සහ තවත් පැරණි සොහොනක් ආශ්‍රිතව මිනි පෙට්ටි වළවල් පවතින ස්ථාන දෙකකින් හාරා, ඒ තුළට යම් කිසි ද්‍රව්‍යයක් ඇතුළු කරමින් සිටින අයුරුයි.
එමෙන්ම, සොහොන් කොත් මත මැටිවලින් සාදන ලද මිනිස් රූපවලට සමාන රූප තබා පහන් දල්වමින් ඔවුන් මෙම බලි පූජාව සිදුකර තිබෙනවා.
ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ බකමූණ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සුසාන භූමියට පැමිණෙන විටත් ගම්වාසීන් විශාල පිරිසක් එහි රැස්ව සිට ඇති අතර, එහිදී පූජාව සඳහා යොදාගත් ද්‍රව්‍ය ද සමඟ සැකකාර කාන්තාවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක් සහ බකමූණ, සරුබිම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් බව අප වාර්තාකරු සඳහන් කළා.
"මේ කාන්තාවන් මීට පෙරත් කිහිප වතාවක්ම මේ සුසාන භූමියට ඇවිත් මෙන්න මේ වගේ අද්භූත වැඩ කරලා තියෙනවා. මේවා නිසා දැන් අපිට ගමේ ජීවත් වෙන්නත් බයක් දැනෙනවා." යැයි ප්‍රදේශවාසීන් පවසන බවත්, සැකකාරියන් දෙදෙනාට එරෙහිව "පුද්ගලික හා පොදු සුසාන භූමි ආඥා පනත" යටතේ සොහොන් කොත්වලට හානි සිදුකිරීමේ වරද සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළා.