සහන කාලය ඉවරයි, අද සිට අධිවේගී මාර්ගයේ යන හැමෝටම ආසන පටි අනිවාර්යයි. නීතිය තදින්ම ක්රියාත්මක කරන්න පොලිසිය පාරට බැස්ස හැටි..
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් රජය මඟින් ලබා දී තිබූ මාස තුනක සහන කාලය අද (19) දිනයෙන් අවසන් වනවා. ඒ අනුව අද සිට අධිවේගී මාර්ග තුළ ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරෙනවා.
නීතිය ක්රියාත්මක වන පළමු දිනය වූ අද පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම පිවිසුම අසලදී විශේෂ පරීක්ෂාවක් සිදු කෙරුණා.
එහිදී අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පැමිණි පෞද්ගලික වාහන මෙන්ම මගී ප්රවාහන බස් රථවල ගමන් ගත් මගීන් ආසන පටි පැළඳ සිටින්නේ දැයි පොලිස් නිලධාරීන් විසින් දැඩි ලෙස නිරීක්ෂණය කරනු ලැබුවා.
මෙම සෝදිසි කිරීම් අතරතුර පානදුර සිට කඩුවෙල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්ද පොලිස් පරීක්ෂාවට ලක් වුණා. එහිදී එම බස් රථයේ ගමන් ගත් මගීන් 33 දෙනාගෙන් කිසිවෙකුත් ආසන පටි පැළඳ නොසිටි බවයි පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී තිබෙනවා.
ඒ අනුව, අදාළ බස් රථයට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමට පොලිසිය වහාම පියවර ගෙන තිබෙනවා.
අධිවේගී මාර්ග පරිශීලනය කරන සියලුම රියදුරන් සහ මගීන් මින් ඉදිරියට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආසන පටි පැළඳීමට වගබලා ගත යුතු බව පොලිසිය සිහිපත් කළා.