ඉන්දීය ගුවන් හමුදාවේ යානයක් කඩාවැටෙයි.. භටයින් 5 දෙනෙකුගේ ජීවිත උදුරාගත් අනතුරේ කළු පෙට්ටිය සොයා මෙහෙයුම්..
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් AN-32 (Antonov AN-32) වර්ගයේ ප්රවාහන ගුවන් යානයක් ඇසෑම් ප්රාන්තයේ ජෝර්හත් ගුවන් හමුදා කඳවුරට ගොඩබෑමට උත්සාහ කිරීමේදී ඊයේ (13) දරුණු අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුර සිදුවූ සැනෙකින් යානය ගිනිබත් වී ඇති අතර, මේ වනවිට ලැබෙන නවතම වාර්තා අනුව එහි සිටි ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් පස්දෙනෙකු (05) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තහවුරු වන්නේ.
යානයේ සහාය නියමුවා (Co-pilot) පමණක් බේරී ඇති අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබනවා. ඊයේ උදෑසන 10:00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව ගුවන් හමුදා ප්රකාශකයන් සඳහන් කළා.
සුපුරුදු සැපයුම් ප්රවාහන මෙහෙයුමක නිරතව සිටි මෙම යානය, ජෝර්හත් ගුවන් පථයට ගොඩබෑමේදී (Landing) පාලනයෙන් ගිලිහී ගොස් තිබෙනවා.
ප්රහාරක වේගයෙන් පැමිණි යානය ගුවන් පථය අසලදීම දෙකඩ වී මහා පිපිරුමක් සමඟ ගිනිගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.
අනතුරට ලක්වූ AN-32 යානය ඉන්දීය ගුවන් හමුදාවේ 43 වන බලඝණයට (43rd Squadron) අනුයුක්තව සේවයේ යොදවා තිබූ එකක්.
මේ වන විටත් අනතුරට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්රියාත්මක වන පරිදි විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් විසින් පර්යේෂණ පවත්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.
AN-32 යානාවල "කළු පෙට්ටිය"සෝවියට් දේශයේ නිෂ්පාදිත, එන්ජින් දෙකකින් යුත් මෙම AN-32 යානා ඉන්දීය ගුවන් හමුදාවේ ප්රධාන ප්රවාහන යානා විශේෂයක් වුවත්, මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනි යානා අනතුරුවලට ලක්ව තිබෙනවා.
විශේෂයෙන්ම 2019 වසරේදීද මෙවැනිම යානයක් ඇසෑම් ප්රදේශයෙන් ගුවන්ගත වී අතුරුදන් වූ අතර පසුව එහි සිටි 13 දෙනාම මියගිය බව තහවුරු වුණා.